හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4.07 ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා නියම වී සිටි බුද්ධික ප්‍රසන්න ලියනගේ නමැති විත්තිකරුවකු එම චෝදනාවලින් සහ දඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

දඬුවම් ලබා සිටි අදාල විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් පෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

2010 වසරේ මාර්තු මස 06 වනදා මීගමුවේ සිට ත්‍රී රෝද රථයකින් කොළඹ දෙසට හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සූදානමක් පවතින බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වත්තල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වත්තල ගැමුණු පැලැස් සිනමාහල අසල මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂාවක් සිදු කළා.

එහිදී සැකකළ යුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කළ පොලිසිය සිටි විත්තිකරු සිය යට ඇඳුම තුළ සඟවා තිබූ කුඩා පාර්සලයක් පොලිසිය විසින් සොයාගත් අතර පසුව එය හෙරොයින් මත්කුඩු බවට තහවුරු වුණා.

ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුට මහාධිකරණ විනිසුරුවරයා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවා.

එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් විත්තිකරු සඳහන් කර සිටියේ තමන් සන්තකයේ මත්කුඩු තිබූ බවට පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වී ඇති බවත් ඒ අනුව තමන් වරදකරු කරමින් දඩුවම් පැමිණවීමට මහාධිකරණ විනිසුරුවරයා ගත් තීරණය නීතියට පටහැනි බවයි.

ඉන් අනතුරුව මෙම අභියාචනය පිළිබඳ විභාගයක් පැවැත්වූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරු සන්තකයේ මත්කුඩු තිබූ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට මහාධිකරණය හමුවේ අසමත් වී ඇති බවයි.

සන්තකය පිළිබඳ චෝදනා එල්ල වන අවස්ථාවක එය අවිවාදාත්මක සාක්ෂි වලින් සැකයකින් තොරව ඔප්පු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහෙත් මෙම විත්තිකරු සම්බන්ධ නඩුකරයේ එම කටයුත්ත නිසියාකාරව සිදුවී නොමැති නිසා මහාධිකරණ විනිසුරුවරයා විසින් පැනවූ වරදකරු කිරීමේ තීරණය හා දඬුවම ඉවත්කොට විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියම කරන බවත් සඳහන් කළා.