වත්මන් ආණ්ඩුව යටතේද අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය වෙමින් පවතින බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

බස්නාහිර පළාතේ පාසල් සම්බන්ධයෙන් එවැනි දේශපාලන මැදිහත් වීම් ගණනාවක් දක්නට ඇති බවයි එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ.
"දැන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වුනාට පස්සේ අධ්‍යාපන පද්ධතිය තුළ දේශපාලනීකරණය නැතුව නිර්දේශපාලනීකරණයෙන් තමයි කටයුතු කරනවා කියලා කතා කරේ. නමුත් මේ වන විට පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමෙන් අධ්‍යාපන පද්ධතිය තුළ බරපතල දේශපාලනීකරණයක් තියෙනවා. පළාත් සභාවල ආණ්ඩුකාරවරු යටතේ සම්පූර්ණයෙන්ම දේශපාලන මැදිහත්වීම් ඇතුව තමයි සියලු දේවල් වෙන්නේ. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා අවස්ථා දෙකකදී අයින් වෙන්න හිටියා. නමුත් අයින් වුනේ නෑ. එතකොට එහෙම තියෙද්දී අද වෙනකොට බස්නාහිර පළාතේ අධ්‍යාපනය ගෙනියන්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයා. අපි දන්නවා සාමාන්‍යයෙන් පාසලක විදුහල්පතිවරයෙක් පත්කිරීමේදී 1999/20 කියලා චක්‍රලේඛයක් තියෙනවා. ඒ චක්‍රලේඛය අනුව අදාළ ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක් තමයි ඒකට පත්කරන්න ඕනේ, සම්මුඛ පරීක්ෂණ තියලා. එතකොට අද අපි දන්නවා පානදුර ප්‍රදේශයේ පාසලකට පත්කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම පළමු පන්තියේ නොවන විදුහල්පතිවරයෙක් පළමු පන්තියේ පාසලකට. ඒ පත්කිරීම් පිටිපස්සේ ඉන්නේ පැහැදිලිවම කියන්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි."

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ලංකා ගුරු සංගයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා.
"ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම පිළියන්දල කලාපයට අයිති පාසලක ප්‍රධාන පාසලක දැන් සාමාන්‍යයෙන් අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරයෙක් ඉන්න ඕනෙනේ. එතනට වැඩ බලන්න පත් කරනවා කවුද තමන්ට ඕන කෙනෙක්ව පත් කරනවා. එහෙම කරන්න බෑ. දැන් අපි දන්නවා පාසල් පද්ධතියේ සමහර පාසල් තියෙනවා ඒවා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට වෙන් වෙච්ච පාසල්. එතකොට අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් අයදුම් කරලා නැති නිසා ඒ පාසල්වල දැනට ඉන්න විදුහල්පතිවරු වැඩ කරගෙන යනවා. ඒ කවදා වෙනකම්ද අලුතෙන් ගන්නකම්. දැන් මේ ගොල්ලෝ මොකද කරන්නේ? එහෙම දැන් කොට්ටාව ප්‍රදේශයේ පාසලටත් ඒක කරන්න යනවා. ප්‍රධාන ජනප්‍රිය පාසල්වලට තමන්ට හිතවත් අය පත් කරන්න යනවා වැඩ බලන්න. මේක තමයි පහුගිය ආණ්ඩුවත් කළේ. ඕක කරන්නද මේ ආණ්ඩුව බලයට පත්වුණේ?"