රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවෙන් විපතට පත් සිසුන්ට සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ සහන සැලසීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ආපදාවෙන් දෙමාපියන් හෝ නීත්‍යනුකූල භාරකරුවන් අහිමි වූ සිසුන් සඳහා, ආදායම් සීමාවක් නොසලකමින් ප්‍රතිලාභ ගෙවීම් සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

ආපදා තත්ත්වය මත සිදුවූ අනතුරු හේතුවෙන් සෘජුවම සිදු කරන ලද ප්‍රතිකාර, ඖෂධ මිලදී ගැනීම් සහ පරීක්ෂණ ගාස්තු සඳහා බාහිර ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් විසිදහසක ප්‍රතිලාභ ලබා දීමට නියමිතයි.

පෞද්ගලික රෝහල් මඟින් ලබා ගත් ප්‍රතිකාරවලට අදාළව නිකුත් කරන ලද බිල්පත් විනාශ වී ඇත්නම්, ඒ සඳහා එම ආයතනය මඟින් ලබා දෙන සහතික කරන ලද බිල්පත් ඉදිරිපත් කළ යුතු වනවා.

රජයේ රෝහල් මඟින් නිකුත් කරන ලද රෝග නිශ්චය තුණ්ඩු විනාශ වී ඇත්නම්, ඒ සඳහා රජයේ රෝහල මඟින් නිකුත් කරන ලද රෝගියාගේ තොරතුරු ඇතුළත් වෛද්‍ය නිර්දේශය සඳහන් ලිපියක් ඉදිරිපත් කළ යුතු බවයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍යාංශය පැවසුවේ.