ලොව ප්‍රධානතම සහ වැදගත් සමුද්‍රීය වෙළඳ මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා වාණිජ නැව් ඉලක්ක කර ගනිමින් මෑතකදී එල්ල වූ ප්‍රහාරයන් ඉන්දියාව විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කළේ, නාවිකයන්ට එරෙහිව සිදු කෙරෙන මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ජාත්‍යන්තර මුහුදු මාර්ගවල නැව් ගමනාගමනයේ ආරක්ෂාවට සහ අඛණ්ඩතාවයට බරපතළ තර්ජනයක් එල්ල වන බවයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, මුහුදු මාර්ගවල නැවත වරක් හිස ඔසවමින් පවතින මෙම ප්‍රහාර සහ බටහිර ආසියානු (මැදපෙරදිග) කලාපය පුරා වර්ධනය වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ඉන්දියාව සිය බලවත් කනස්සල්ල ප්‍රකාශ කර ඇත. පවතින සතුරුකම් වහාම නතර කරන ලෙස ඉල්ලා සිටි ඉන්දීය රජය, කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය රැකගැනීම සඳහා නැවත සාකච්ඡා මේසයට පැමිණ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් ආරම්භ කරන ලෙසද දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියේය.
ලෝක නාවික මාර්ග හරහා සිදුවන වෙළඳ කටයුතු ජාත්‍යන්තර නීතියට අනුකූලව, කිසිදු බාධාවකින් තොරව කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කලාපය පුරා සිදුවන වාණිජ නැව් සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාර වහාම නැවැත්විය යුතු බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.




