අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කළේ කියන චෝදනාව මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජයරත්නගේ දියණියට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කළා.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ සැකකාරියට එරෙහිව චෝදනා දෙකක් යටතේ චෝදනා පත්‍රයක් ගොනු කරන බවයි.

ඉන් අනතුරුව චෝදනා පත්‍රය විවෘත අධිකරණයේ කියවනු ලැබූවා.

එහිදී විත්තිකාරී ප්‍රකාශ කළේ තමන් අදාල චෝදනාවලට නිවැරදිකාරිය බවයි.

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරිය අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ 2025 ජූලි මස 07 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී හේමාලී විජේරත්න විත්තිකාරිය විසින් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කෙරුණා.

විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරපපෙරුම මහතා කරුණු ඉදිරිපත් කරමින් නඩු විභාගයට මුහුණ දීමට විත්තිකාරිය සූදානම් බවත් ,ඇයගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන පරිදි විදේශගතත වීමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරියෙන් නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින බවට ද ප්‍රකාශ කළේය.

සිය සේවාදායිකාවට විදේශීය අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලය බලා යෑම සිදු කළ යුතු හෙයින් මෙම ඉල්ලීම කරන බවද පැවසීය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියට අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවීමට අවසර ලබා දුන්නේය.

ඉන් අනතුරුව මෙම නඩුව යළි මැයි මස 05 වනදා කැඳවීමට නියම වුණා.