දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් මෙම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබුවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2012 සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට සිය අමාත්‍යංශය මගින් ඉන්ධන දීමනා වෙන්කර තිබියදී නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස ශ්‍රී ලංකන් සමාගමෙන් රුපියල් 28 ලක්ෂ පනස් තුන්දහස් නවසිය තිස්පහක මුදලක් මෙම සැකකරු විසින් ගෙවා තිබෙන බව පැවසුවා.
ආරම්භයේදී මාස් පතා රුපියල් 50000 බැගින් ඉන්ධන දීමනා වශයෙන් ගෙවා ඇති අතර පසුව එම මුදල මසකට රුපියල් 75000 ක් දක්වා වැඩිකර තිබෙන බවත් එම කොමිසමේ නිලධාරියා කියා සිටියා.
මේ තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බවයි එම නිලධාරින් පැවසුවේ.
කෙසේ වෙතත් මෙම ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් අල්ලස් කොමිසම කියා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාල සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අතර සැකකරුගේ විදේශ ගමන් කරන බවත් නියම කළා.
ඉන් අනතුරුව පැමිණිල්ල ජුලි මස 28 වන දා කැඳවීමටද නියම වුණා.




