චමරි අතපත්තුගේ විශිෂ්ට පන්දු යැවීම සහ නිලක්ෂිකා ද සිල්වාගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් පන්දුවාර විස්ස ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණය ද හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේ ඉන්දුනීසියාව ලකුණු 75කින් පරාජය කරමින්.
නායිකා චමරි අතපත්තු කඩුලු ත්‍රිත්වයක්ද සමග මෙහිදී කඩුලු 7ක් දවා ගත්තා.
තරගගේ වීරවරිය ලෙස සම්මාන දිනාගත්තේ ද ඇයයි.
මෙම තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත්‍රී ඩුබාහිදී පැවැත්වුණා.
කාසියේ වාසිය දිනාගත් ඉන්දුනීසියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට බොහෝ අය අපේක්ෂා නොකළ ඉතා ප්‍රබල අභියෝගයක් ලබාදීමට ඉන්දුනීසියානු පන්දු යවන්නියන් එහිදී සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 6ම බිඳ වැටුණේ ලකුණු 62ට යි.
එක අන්තයක් සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටෙද්දී නිලක්ෂිකා ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා.
ඇය පන්දු 35කදී 6 පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 50ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු ඉතුරු කරමින්.
ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කාර පරිච්ඡේදය වූයේ අවසන් පන්දු වාර 5යි.
වේගවත් පිතිහරඹයක යෙදෙමින් ලකුණු 46ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් එහිදී සමත් වුණා.
ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසානයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 7ට ලකුණු 124ක් ලෙසයි.
පසුව ලකුණු 125ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා ඉන්දුනීසියානු ක්‍රිඩිකාවන් පිටියට පිවිසියා.
එහෙත් සියලු දෙනා දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 49ක් පමණයි.
චමරි අතපත්තු ලකුණු 5ට කඩුලු 7ක් දවා ගනිමින් ඉන්දුනීසියානු ඉනිම සුනු විසිනු කර දැමුවා.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් ඊ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටිනවා.
වත්මන් ආසියානු පන්දුවාර විස්ස ශූරියන් වන්නේ ද ශ්‍රී ලංකාවයි.




