අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් චීනය මත පැනවූ සියයට 50ක තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් චීනය අමෙරිකාවට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ගැටළු විසඳීම සඳහා සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින බව නැවත අවධාරණය කරමින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසා ඇත්තේ යුද්ධවලට ගැටළු විසඳිය නොහැකි බවත් සම්බාධක මගින් ඒවා සංකීර්ණ කරන බවයි. ස්ලෝවේනියාවේ නියෝජ්‍ය අගමැති සහ විදේශ හා යුරෝපීය කටයුතු අමාත්‍ය ටන්ජා ෆජොන් හමුවීමෙන් පසු ඉකුත් දා ලුබ්ලානාහි පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. චීනය යුද්ධවලට සහභාගී නොවන අතර යුද්ධ සැලසුම් නොකරන බවත් චීනය සාම සාකච්ඡා දිරිමත් කිරීම සහ සංවාදය තුළින් උණුසුම් ගැටළුවලට දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කරන බවත් වැන්ග් යී එම මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු බවත් වර්තමාන කාලයේ ජාත්‍යන්තර තත්ත්වය එකිනෙකට බැඳී ඇති අවුල් සහගත තත්ත්වයන් සහ අඛණ්ඩ ගැටුම් මගින් සංලක්ෂිත බවත් චීන විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙම තීරු බදු සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ටෘත් සෝෂල්හි සටහනක් තබමින් සඳහන් කර තිබුණේ රුසියාව සහ යුක්‍රේනය සමඟ යුද්ධය අවසන් වූ පසු චීනයට සියයට 50 සිට 100 දක්වා තීරුබදු පැනවීම සහ නේටෝව කණ්ඩායමක් ලෙස, මෙම මාරාන්තික නමුත් හාස්‍යජනක යුද්ධය අවසන් කිරීමටද මහත් රුකුලක් වනු ඇති බව විශ්වාස කරන බවයි. චීනයට රුසියාව කෙරෙහි ශක්තිමත් පාලනයක් සහ ග්‍රහණයක් පවා ඇති අතර, මෙම බලගතු තීරුබදු එම ග්‍රහණය බිඳ දමනු ඇති බවටද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහභාගී වූ චීනයේ විශාලතම හමුදා පෙළපාළියෙන් පසුව ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින් පිං එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ද චෝදනා කළා. මෙම චෝදනා කිරීමෙන් පැය කිහිපයකට පසු ට්‍රම්ප් පැවසුවේ චීන නායකත්වය සමඟ තමාගේ පෞද්ගලික සබඳතා ඉතා හොඳ බවයි.
Published