අගෝස්තු 14 වැනිදායින් අවසන් වූ සතිය වන විට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 716.9 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මාස හයකට ආසන්න කාලයක් තුළ වාර්තා වූ ඉහළම අගය බව එරට මහ බැංකු දත්ත අනාවරණය කර තිබේ.

ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය මහ බැංකුව හඳුන්වා දුන් ප්‍රතිපත්තිමය පියවර හේතුවෙන් රට තුළට ලැබුණු විදේශ විනිමය ගලාඒම් මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

පසුගිය සතියට සාපේක්ෂව මෙම සංචිතය ඩොලර් බිලියන 10කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඊට මහ බැංකුවේ විදේශ විනිමය වත්කම්වල ඩොලර් බිලියන 7.2ක වර්ධනය සහ රන් සංචිතවල වටිනාකම ඩොලර් බිලියන 2.7කින් ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපෑවේය.

පසුගිය සති හත පුරාම ඉන්දීය මහ බැංකුවේ විදේශ විනිමය සංචිතය අඛණ්ඩව ඉහළ ගිය අතර, එම කාලය තුළ සංචිතයට එකතු වූ මුළු මුදල ඩොලර් බිලියන 50කට ආසන්නය. මෙලෙස සංචිත ඉහළ යාමත් සමඟ, පසුගිය පෙබරවාරි මාසයේදී තැබූ ඩොලර් බිලියන 728.5ක සර්වකාලීන වාර්තාගත අගය වෙත ළඟාවීමටද ඉන්දියාවට දැන් වැඩි දුරක් නොමැත.

ඩොලර් ගලාඒම දිරිමත් කිරීම සඳහා පසුගිය ජූනි මාසයේදී හඳුන්වා දුන් පියවර අතරට රාජ්‍ය සමාගම් සහ බැංකු විසින් ලබාගන්නා විදේශීය ණය සඳහා වට්ටම් සහිත හෙජිං පහසුකම් ලබාදීම සහ විදේශීය විනිමය තැන්පතු රැස්කිරීම සඳහා බැංකුවලට නොමිලේ හෙජිං පහසුකම් සැලසීම ඇතුළත් විය. මෙම වට්ටම් සහිත විදේශ විනිමය හුවමාරු ක්‍රමය හරහා ගලා එන විදේශ විනිමය මහ බැංකුව විසින් සිය සංචිත වෙත අත්පත් කරගනු ලබයි.

එම යෝජනා ක්‍රමය යටතේ අගෝස්තු 13 වැනිදා වන විට ඩොලර් බිලියන 57කට ආසන්න මුදලක් රට තුළට ලැබී ඇති බව ඉන්දීය මහ බැංකුව පසුගිය සිකුරාදා ප්‍රකාශ කළ අතර, ඊට ඩොලර් බිලියන 50කට වැඩි විදේශ විනිමය තැන්පතු ඇතුළත් වේ. මෙලෙස බලාපොරොත්තු වූවාටත් වඩා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබීම හේතුවෙන්, අදාළ තැන්පතු හෙජිං පහසුකම ලබාදීමේ කාලය මාසයකින් ඉදිරියට ගෙනවිත් අගෝස්තු 31 වැනිදායින් අවසන් කිරීමට මහ බැංකුව තීරණය කර ඇත.