Published
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්රාධිකරණය නියම කළා
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය මෙම නියෝගය නිකුත් කළා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගාල්ල සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ මෙම සැකකරු දූෂණ විරෝධී පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව සඳහන් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දුලාජ් තරංග නමැති පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරුගේ වට්ස්ඇප් අංකය හමුවී ඇති අතර එහි නානායක්කාර නමැති පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් විස්තර හමුවී තිබෙන බවත් එම නිලධාරීන් සඳහන් කළා.
වැඩිදුර විමර්ශනවලදී අනුර නානායක්කාර නමැති මෙම සැකකරු කාලයක පටන් හඳුනන පුද්ගලයෙකුගේ නමින් බැංකු ගිණුම් තුනක් විවෘත කර ඇති අතර එම බැංකු ගිණුම් විවෘත කර තිබෙන්නේ මෙම සැකකරුගේ දැනුම්දීම අනුව බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් ඔවුන් පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව එම විමර්ශනවලදී දූෂණ චෝදනා පිළිබඳ කරුණු අනාවරණය වීම හේතුවෙන් අදාල විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අල්ලස් කොමිසම වෙත යොමු කෙරුණු බවත් ඔවුන් පැවසුවා.
අල්ලස් කොමිසම විසින් සිදු කළ විමර්ශනවලදී නානායකාර නැමැති පුද්ගලයාගේ නමින් බැංකු ගිණුම් තුනක් විවෘත කර ඇති අතර එම බැංකු ගිණුම් වලට අදාළ ඒ.ටී.එම්.පත් මෙම සැකකරු ලබා ගෙන ඔහු විසින් පාවිච්චි කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.
එම ගිණුම් වලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, යුක්තිය ඉටුකර ගැනීම සඳහා පොලිසිය වෙත පැමිණෙන මහජනතාවගෙන් සහ සැකකරු සේවය කළ ප්‍රදේශවල සිටි සංවිධානාත්මක සහ වෙනත් අපරාධකරුවන් අල්ලස් වශයෙන් ලබාදුන් මුදල් තැන්පත් කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වුණා.
එම ගිණුම්වලට මේ වන විට විදේශගතව තිබෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකු විසින් අවස්ථා තුනකදී මුදල් තැන්පත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර තවත් ජාවාරම්කරුවකු බව කියන අමිල පරණවිතාන නමැත්තා විසින්ද මුදල් තැන්පත් කර ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම පැවසුවා.
ඊට අමතරව මෙම සැකකරුගේ ආරක්ෂකයා විසින් අදාළ බැංකු ගිණුම් වලට අවස්ථා සිය ගණනකදී මුදල් තැන්පත් කර ඇති අතර රියදුරු විසින් අවස්ථා පනස් ගණනකදී මුදල් තැන්පත් කර ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා විසින් තැන්පත් කර තිබෙන මුදල් වල වටිනාකම රුපියල් 1483000/- කට ආසන්න බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව සැකකරුගේ මෙම ගිණුම් වලට මාස 08 ක් තුළ රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් තැන්පත් වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඉන් රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් මුදල් සහිත ගිණුමක් මේ වනවිට කොළඹ මහාධිකරණයේ නියෝග මත තහනමට ගෙන තිබෙන බවත් එම නිලධාරීන් ප්‍රකාශ කළා.
මෙම බැංකු ගිණුම් තුන අතුරින් එක් ගිණුමක් සම්බන්ධයෙන් මේ දක්වා විමර්ශනයක් ආරම්භ කර නොමැති බව සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම ගිණුම් පවතින අනුර නානායක්කාර නමැති පුද්ගලයාට මෙම සැකකරු විසින් සාක්ෂි ලබා නොදෙන ලෙස බලපෑම් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඔහු අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබෙන බවත් එම නිලධාරීන් පැවසුවා.
ඒ අනුව මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රක්ෂිත බද්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව මෙම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු විසින් තර්ජනය කළ බව කියන නානායක්කාර නමැති පුද්ගලයා මෙම දිවුරුම් ප්‍රකාශය ලබාදී තිබෙන්නේ කවදාදැයි අධිකරණයෙන් ප්‍රශ්න කළා.
එවිට අල්ලස් කොමිසම නිලධාරීන් සඳහන් කළේ මෙම දිවුරුම් ප්‍රකාශය මෙම අගෝස්තු මස 05 වනදා බවයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර සාක්ෂි කරුවන්ගෙන් මේ ආකාරයෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ සැකකරුගේ නීතිඥවරයා මෙම විමර්ශනය ආරම්භ කළේ 2024 වසරේ බවත් එය අල්ලස් කොමිසම විසින් අධිකරණයට වසන් කළ බවත් සඳහන් කළා.
තම සේවා දායකයා විසින් නානායක්කාර නමැති පුද්ගලයාට තර්ජනය කළ බව අල්ලස් කොමිසම ප්‍රකාශ කලත් එවැනි තර්ජනයක් ගැන අදාල පුද්ගලයා පොලිසියට පැමිණිල්ලක් කර තිබේදැයි ප්‍රශ්න කළ නීතිඥවරයා එවැනි පැමිණිල්ලක් මේ දක්වා ඉදිරිපත් වී නොමැති බවත් සඳහන් කර සිටියා.
සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ ආයුධයක් ලෙස අල්ලස් කොමිසම දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම සිදුකරන බවත් මෙවැනි දිවුරුම් ප්‍රකාශවල අඩංගු කරුණුවල සත්‍යය අසත්‍ය භාවය තහවුරු කර ගැනීමකින් තොරව පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි නීතිඥවරයා ප්‍රශ්න කලා.
මෙවැනි දිවුරුම් ප්‍රකාශ ඕනෑ තරම් ලබා ගැනීමට අල්ලස් කොමිසමට හැකියාව තිබෙන බවත් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන සාහිත්‍යමය කරුණු සහ ප්‍රවාදක කරුණු පදනම් කරගෙන සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බවත් ඔහු පැවසුවා.
මෙම සැකකරු අවුරුදු 59 ක් වයසැති රෝගාබාධ වලින් පෙළෙන ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයෙකු වන අතර ඔහු ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් අනුර නානායක්කාර නැමැත්තා මෙම විමර්ශන ආරම්භයේදී සත්‍ය ප්‍රකාශ නොකළ බවත් ඔහුගේ බිරිඳගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඇය විසින් සත්‍ය කරුණු හෙළි කළ බවත් සඳහන් කළා.
මෙම සැකකරුගෙන් එල්ල වී තිබෙන බලපෑම් නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු රක්ෂිත බන්ධනාගාගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අවසන් වශයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ සැකකරුගේ තරාතිරම කෙසේ වුවත් විමර්ශන කටයුතුව අවසන් වී නොමැති හෙයින් මෙම අවස්ථාවේදී ඇප ඉල්ලීම සලකා බැලිය නොහැකි බවයි.
ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බව මහේස්ත්‍රාත්වරිය නියම කළා