අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, 2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළ බවට වූ චෝදනාවකට අදාළවයි.

ඒ අනුව බන්ධනාගාරයේදී විත්තිකරුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ 2015 වසරේ නිමල් විජේතිලක නමැත්තෙකු දූෂණ මර්දන කාර්යාලයට කළ පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශන සිදුකර විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබූ බවයි.

පසුව මෙම විමර්ශනය තුළ “දූෂණය” නමැති චෝදනාවක් නිරීක්ෂණය වීම නිසා නීතිපතිවරයා විසින් එම පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත යොමු කර තිබූ බවත් එම නිලධාරීන් සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන්, 2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිදු ගොවීන් අතර සහනදායී මිලකට බෙදාදීම සඳහා රුපියල් මිලියන 25ක් වැය කොට බඩ ඉරිඟු බීජ කිලෝ ග්‍රෑම් 9940ක් මිලදී ගෙන තිබු බව සඳහන් කළා.

මෙම බඩ ඉරිඟු තොග දිළිඳු ගොවීන් සඳහා සංවර්ධන නිලධාරීන් හරහා බෙදා හැරීම සාමාන්‍ය නීත්‍යනුකූල පටිපාටිය වුවද මෙම සැකකරු මැදිහත් වී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් සිදුකොට එම බඩ ඉරිඟු බෙදා ඇරීමේ කටයුත්ත තමන් භාරයට ගෙන තිබෙන බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

පසුව අදාළ බඩ ඉරිඟු කිලෝග්‍රෑම් 9,940ක තොගය අනුරාධපුරයේ පිහිටා ඇති සිය කාර්යාලයට රැගෙන ගොස් එහිදී තමන්ගේ හිතවතුන් සංවිධායකවරු හා දේශපාලන ආධාරකරුවන් මාර්ගයෙන් ඔවුන්ට අවශ්‍ය පිරිස් වෙත බෙදාහැරීමට කටයුතු කර තිබෙන බවත් එළඹෙන ජනාධිපතිවරණයේදී දේශපාලන වාසියක් ලබා ගැනීමේ අරමුණින් ඔහු මෙම ක්‍රියාව සිදුකර ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවා.

මෙසේ බෙදා දුන් බඩ ඉරිඟු බීජ සැකකරුගේ ආධාරකරුවන් විසින් වැඩි මිලට වෙළඳසැල්වලට විකුණා ඇති බවට පසුව කරුණු අනාවරණය වී ඇතැයිද එම නිලධාරීන් සඳහන් කළා.

මෙහිදී සැකකරු විසින් තමන්ට බලපෑම් සිදු කළ බවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එවක ක්‍රම සම්පාදන අධ්‍යක්ෂවරයා දිවුරුම් ප්‍රකාශයක් ද ලබා දී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරින් සැකකරුගෙන් තමන්ට එල්ල වූ බලපෑම් පිළිබඳව මෙම කාර්යයට සම්බන්ධව සිටි රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ ලබාදී තිබෙන බවත් පැවසුවා.

මෙම සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් ඉදිරි විමර්ශනවලට බාධා සිදුවිය හැකි බවත් ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පැමිණිලිකරු ද්වේෂ සහගත අරමුණකින් සිය සේවාදායකයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.

ඉන්ධන හලක් ඇරඹීම සඳහා අවසර නොදීම සම්බන්ධයෙන් ඔහු තම සේවාදායකයා ඇතුළු පිරිසකට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරූ බවත් එහිදී අසත්‍ය දිවුරුම් පෙත්සමක් ලබාදීම සම්බන්ධයෙන් අදාළ නඩුව රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවකට යටත්ව ඉවත දැමීමට අර්ජුන ඔබේසේකර විනිසුරුවරයා තීන්දු කළ බවත් නීතිඥවරයා පැවසුවා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.