සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන හා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන යන පනත් කෙටුම්පත් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එහිදී නිලධාරීන් පෙන්වාදී ඇත්තේ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත මගින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන 04ක් එකතු වන බවයි.

ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත මගින් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය කිරීම සිදු වන අතර, එමගින් දළ එකතුව මත බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා පනවා ඇති කැසිනෝ ඇතුලු වීමේ බද්ද එක්සත් ජනපද ඩොලර් 50ක සිට 100 දක්වා ඉහළ නැංවීම සිදු වනු ඇති.

ඒ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊට හිමිව තිබෙනවා.

2004 අංක 11 දරන මුදල් පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයක් සඳහා ද කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

එමගින් ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බදු ගෙවීමේ වලංගු කාල සීමාව දීර්ඝ කිරීම සිදු වනවා.

ඊට අමතරව සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පනවා ඇති රීති සම්බන්ධයෙන් ද කාරක සභාව සලකා බලන ලද අතර ඒ සඳහා කාරක සභාවේ අනුමතිය හිමිව නැහැ.

කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ ඒ පිළිබඳ සුදුසු විශ්ලේෂණයක් කාරක සභාවට ලබාදෙන ලෙසත් ඉන් අනතුරුව ඉදිරියේදී එය සලකා බැලීම සිදු කරනු ලබන බවයි.