තැපැල් සේවකයින්ගේ වර්ජනයට ආණ්ඩුව කිසි ලෙසකින්වත් හසුනොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තැපැල් සේවකයින්ගේ ඉල්ලීම්වලින් බහුතරයක් මේ වන විටත් ඉටුකර ඇති බවයි.

තැපැල් සේවකයින්ගේ අතිකාල දීමනා ඉල්ලීම සහ ඇඟිලි සලකුණු තැබීම සම්බන්ධයෙන් ඇති විරෝධය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. කෙසේවෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව සාර්ථක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති අද පස්වරුවේ පැවසුවා. ඒ, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ගමගේ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි. මේ, ඊට එක්වූ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ.ජී.සී. නිරෝෂන මහතා. ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් ඉකුත් 17 වනදා සිට තැපැල් වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනයේ නිරත වනවා. මේ හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී ඇති බවයි වෘත්තීය සමිති පැවසුවේ.