රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි කළුතර බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. ඔහු ඊයේ පස්වරු 06.45ට පමණ එම බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව පළමුව රැඳවියෙකු ලෙස ලියාපදංචි කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඉන් අනතුරුව ඔහු නවක රැඳවියන් රඳවනු ලබන වාට්ටුවේ තවත් රැඳවියන් සියයකට අධික පිරිසක් සමඟ රඳවා තිබෙනවා. අද දිනයේ ඔහු වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෙනත් වාට්ටුවකට මාරු කිරීමට නියමිතයි. ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කරන ලද ජීප් රථ ගණුදෙනුවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටියදී ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ දිනයේ භාරවුණා. ඉන් අනතුරුව අධිකරණය නියෝග කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි අගෝස්තු පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මේ අතර ආන්දෝලාත්මක මෙම ජීප් රථ ගණුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා ඇප මත මුදාහරින ලෙස අධිකරණය ඊයේ නියෝග කළා. ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාලය තුළ රඳවා සිටියේ කළුතර බන්ධනාගාරයේ ‘සී’ වාට්ටුවේයි. ඒ, තවත් රැඳවියන් 90කට ආසන්න පිරිසක් සමගින්. බන්ධනාගාරගතව සිටි සමයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා කිසිදු පහසුකමක් තමන්ට ලබාදෙන ලෙසට බන්ධනාගාර නිලධාරින්ගෙන් ඉල්ලීමක් කර නැහැ. හැකිනම් තමන් බැලීමට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව හැකිතාක් අඩු කරන ලෙසයි ඔහු බන්ධනාගාර නිලධාරින්ගෙන් ඉල්ලා තිබුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ද සිය පුත්‍රයාට විශේෂ පහසුකම් සලසන ලෙසට බන්ධනාගාර නිලධාරින්ගෙන් කිසිදු අවස්ථාවක ඉල්ලීමක් නොකළ බවද බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවා.
Published