මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

ඉකුත් සතියේ සිට එම කටයුතු යළි ආරම්භ කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව දෛනිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවා.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ තුන් ලක්ෂ 50,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මුද්‍රණ කාඩ්පත් සපයා ගැනීමත් සමඟ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර කඩිනමින් මුද්‍රණය කර අවසන් කිරීමට සැළසුම් කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඉදිරියේදී රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර දින 14ක් ඇතුළත එය නිකුත් කිරීමට පියවර ගන්නා බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ සඳහා සියලුම දිස්ත්‍රික්ක මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ කිරීමට සැළසුම් කර ඇති අතර මේ වන විටත් දිස්ත්‍රික්ක කිහිපයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වී තිබෙනවා.

වේරහැර ප්‍රධාන කාර්යාලයට අමතරව හම්බන්තොට, අනුරාධපුර යන දිස්ත්‍රික්ක කාර්යාලවලද රියදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවන අතර ඉදිරියේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.