මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිදුකළ ආයෝජන සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සහ තවත් පාර්ශවවලින් එල්ල වන චෝදනා එම ආයතනය තරයේ ප්‍රතික්ෂේප කරනවා.

ඉකුත් අප්‍රේල් 9වනදා පැවති මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිදුකළ ආයෝජන සම්බන්ධයෙනුයි ඇතැම් අය මෙලෙස චෝදනා නගන්නේ.

මේ පිළිබද කරණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇති අතර අදාල චෝදනා පදනම් විරහිත හා සත්‍යයෙන් තොර බවයි එමගින් අවධාරනය කර ඇත්තේ. ‍

ප්‍රශ්ණගත ආයෝජනය සිදුකිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය නිසි අනුමැතිය ආයෝජන කමිටු මගින් ලබාගත් බව මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය පවසනවා.

ඒ අනුව කිසිදු අනුමැතියකින් තොරව මෙම ගනුදෙනුව සිදුකළ බවට එල්ල වන චෝදනා අසත්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය ආයතනය පෙන්වා දෙන තවත් වැදගත්ම කරුණක් වන්නේ ආයෝජනය කළ මුදල රුපියල් බිලියන 10ක් බවට ඇතැම් පාර්ශව ඉදිරිපත් කරන කරණු ද සත්‍යයෙන් තොර බවයි.

සත්‍ය ලෙස කරන ලද ආයෝජනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Life යන ආයතන දෙකම එකතුව රුපියල් බිලියන 6ක් පමණක බව ද ඔවුන් පෙන්වා දෙනවා.

මෙයින් රුපියල් බිලියන 2ක් 2030 ජූලි මස කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන්ද රුපියල් බිලියන 3ක් 2034 ජූනි මස කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් සහ රුපියල් බිලියන 1ක් 2037 ජූලි මස කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් අයෝජනය කළ බව ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය පවසනවා.

මීට අමතරව, ආයෝජනය සිදුකර ඇත්තේ සියයට 9යි දශම 7යි 5ක පොළියට බවට ඉදිරිපත් වන චෝදනා ද ප්‍රතික්ෂේප කරන බවයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පවසන්නේ.

සියයට 9යි දශම 7යි 5 යනු බැඳුම්කරයේ කූපන් අනුපාතය මිස තමන් ලංසු ඉදිරිපත් කළ අනුපාතය නොවන බව ඔවුන් අවධාරනය කරනවා.

සැබවින්ම වෙළෙඳපොළේ පවතින අනුපාතයන්ට වඩා වැඩි වාසිදායක අනුපාත යටතේ ලංසු ඉදිරිපත් කළ බවයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වැඩිදුරටත් පවසන්නේ.

මෙම ආයෝජනයෙන් රුපියල් මිලියන 500ක අලාභයක් සිදුව ඇති බවට පැතිර යන අදහස් ද පදනම් විරහිත බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මෙම කටයුතු සිදුකෙරෙන බව ද අවධාරණය කරනවා.

ප්‍රශ්ණගත ගනුදෙනුව සිදුකළේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද ප්‍රාථමික වෙළෙඳුන් 5 දෙනෙකු හරහා විනිවිදභාවයකින් යුතුව බවද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිකුත් කළ නිවේදනයේ සදහන්.

මේ අනුව ගණුදෙනුව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය කියා සිටියා.