රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් පවත්වා තිබෙනවා.

ඒ, අරලියගහ මන්දිරයේදීයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා අමාත්‍යාංශ දහයක විධායක නිලධාරීන් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම යන අරමුණු ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බැවින් ඒ වෙනුවෙන් රාජ්‍ය සේවය සූදානම් විය යුතු බවයි.

කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම තුළින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගනිමින් ජනතාවට වඩා හොඳ සේවාවක් ලබාදීමට අවධානය යොමු කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.