නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් ඉදිකිරීමට පියවර ගැනුණු යාඥා මධ්‍යස්ථානයේ ඉඩමට ආරක්ෂිත බැම්මක් සහ ගේට්ටුවක් ඉදිකිරීමට යාමේදී ප්‍රදේශවාසීන් පිරිසකගේ විරෝධයක් එල්ල වී තිබෙනවා.

නාවලපිටිය මීපිටිය අශෝකාරාම විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එම විරෝධාතාවට එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අදාළ ආරක්ෂිත බැම්ම සහ ගේට්ටුව ඉදිකිරීමට අවශ්‍ය සිමෙන්ති, ගල් සහ කළුගල් ආදී අමුද්‍රව්‍ය ගෙන එන අවස්ථාවේදී ඔවුන් එලෙස විරෝධය පළ කර තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අදාළ ඉඩමේ පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයාගේ මූලිකත්වයෙන් යාඥා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට යාමේදීද ගම්වාසීන් ඊට විරෝධය පළ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.