චීනයේ නිල සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් බීජිං අගනුවරදී සිදුව තිබෙනවා.

ඒ ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්.

ලොව වඩාත්ම වැදගත් ද්විපාර්ශ්වික සබඳතාවය චීනය සහ අමෙරිකාව අතර පවතින සබඳතාවය බවයි චීන ජනාධිපති ෂී ජින්පින් එහිදී අවධාරණය කර ඇත්තේ.

විදෙස් වාර්තා පවසන්නේ මෙම හමුව ඉතා සුහද මට්ටමින් පවත්වා ඇති බවයි.

රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර එම විශේෂ සභාව ඇමතූ චීන ජනාධිපතිවරය පවසා ඇත්තේ දෙරටේ බිලියන 1.7 ක ජනතාවගේ සුභසිද්ධිය මෙන්ම ලෝකවාසී බිලියන 8 ක ජනතාවගේ අනාගතය මෙම සබඳතාව මත තීරණය වන බවයි.

තමන්ට චීනයෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

දෙරට අතර පැවති සාකච්ඡා ඉතා ඵලදායී වූ බවත්, එය තමන් ලැබූ විශාල ගෞරවයක් බවත් ජනාධිපති ට්‍රම්ප් එහිදී පවසා තිබෙනවා.

එමෙන්ම එලඹෙන සැප්තැම්බර් 24 වනදා ධවල මන්දිරයේ සංචාරයක නිරත වන ලෙස ඔහු චීන ජනාධිපති ෂී ජිං පින්පින්ට සහ ඔහුගේ බිරිඳට නිල වශයෙන් ආරාධනා කර ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබෙනවා.

විශේෂයෙන් අමෙරිකානු සමාගම්වලට චීන වෙළඳපොළ විවෘත කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ක්ෂේත්‍රයේ චීන ආයෝජන ව්‍යාප්ත කිරීම පිළිබඳව දෙපාර්ශවයේ අවධානය යොමු ව තිබෙනවා.

අමෙරිකාවේ ප්‍රධාන පෙළේ සමාගම් ප්‍රධානීන් කිහිප දෙනෙකු ද මෙම සාකච්ඡාවලට එක්ව සිටීම විශේෂත්වයක්.

කලාපීය ආරක්ෂාව පිළිබඳව අදහස් දක්වමින් නායකයින් දෙපල අවධාරණය කර තිබෙන්නේ ඉරානය කිසි ලෙසකත් න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය නොකළ යුතු බවයි.

එමෙන්ම ලෝක බලශක්ති සැපයුම සුරක්ෂිත කිරීම සඳහා ‘හෝර්මුස් සමුද්‍ර සන්ධිය‘ නිදහස් නාවික ගමන් පථයක් ලෙස විවෘතව පැවතිය යුතු බවට නායකයන් දෙපළ එකඟ වී ඇති බවද ධවල මන්දිරය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.tM