හිටපු පොලිස් නිලධාරීන් 500 දෙනෙකු ඔවුන් දැරූ තනතුර අතහැර ගියා සේ සලකන බවට පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. එහි පිටපත් අදාළ අංශ වෙතද යොමු කර තිබෙනවා. එලෙස තනතුර අතහැර ගියා සේ සලකන පොලිස් නිලධාරීන් 500 දෙනා පොලිස් කොස්තාපල්වරුන් වනවා. ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, නාගරික රථවාහන කොට්ඨාසය සහ ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයට අනියුක්තව රාජකාරී කළ හිටපු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුද ඒ අතරට අයත් වනවා. මේ අතර, ගතවූ මාස 06ක කාලය තුළ පමණක් විවිධ වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 300 දෙනෙකු වැඩ තහනමට ලක්කර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා ප්‍රකාශ කළා.