මෙරට නිල සේවා කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ අඩෙනියි මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුවේදී කුන්ලේ අඩෙනියි මහතා සිය නිල සේවා කාලය තුළ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වෙත ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය අගය කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජාතික කාන්තා කොමිෂන් සභාව පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරිය දැක්වූ නායකත්වය පිළිබඳව ඔහු විශේෂයෙන් සිය ස්තූතිය පළ කළ අතර, අරමුදලේ මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ හවුල්කරුවන් දැක්වූ වෘත්තීයභාවය සහ කැපවීම ද අගය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි දිගුකාලීන සම්බන්ධතාව අගය කළ අග්‍රාමාත්‍යවරිය, කුන්ලේ අඩෙනියි මහතාගේ නායකත්වය යටතේ සිදු කළ දායකත්වයද අගය කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.