විරෝධතාවල යෙදෙන්නන්ට එරෙහිව අධික ලෙස බලය යෙදවීම වහාම නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන මානව හිමිකම් විශේෂඥයින් පිරිසක් ඉන්දීය රජයෙන් ඉල්ලා තිබෙනවා.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ විශ්වවිද්යාල සිසුන් එක්ව සිදු කෙරෙන මෙම විරෝධතාවලට ඉන්දීය ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ප්රහාර සහ මර්දනයන් සලකා බලමිනුයි ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් පත්කරන ලද ස්වාධීන විශේෂඥයින් 24 දෙනෙකු ඉල්ලීමට අත්සන් තබා තිබෙනවා.
විරෝධතාකරුවන් සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන්ගේ ක්රියාකලාපය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන්.
විරෝධතාකරුවන්ට විවිධ හිංසනයන් සිදුවී ඇති අතර, පිරිසක් තුවාල ලබා ඇති බවට වාර්තා වී තිබෙනවා.
විශේෂයෙන්ම මෙම විරෝධතා අතරතුර සහ අත්අඩංගුවට ගැනීමේදී ලිංගික හිංසනයන් ඇතුළු විවිධ කාන්තා හිංසනයන් ද සිදුවී ඇති බවට ලැබී ඇති වාර්තා පිළිබඳ තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්වන බවයි විශේෂඥ කණ්ඩායම වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
සාමකාමීව පැවැත්වෙන විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් යකඩ කූරු භාවිත කරමින් ප්රහාර එල්ල කර ඇති බවද, දහස් සංඛ්යාත පිරිසකට විරෝධතාවලට එකතු වීමට ඉඩ නොදී වළක්වා තිබෙන බව ද සඳහන්.
මෙලෙස විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා බලය යෙදවීම වහා නතර කරන ලෙසත්, රැස්වීමට දමා ඇති තහනම් ඉවත් කරන ලෙසත් විශේෂඥයින් කණ්ඩායම ඉන්දීය රජයට බල කරනවා.
ජෛවමිතික තොරතුරු (biometrics) මගින් සිදුකරන අන්තර්ජාල නිරීක්ෂණ සහ අන්තර්ජාල විසන්ධි කිරීම්ද නතර කළ යුතු බවයි වහාම නතර කරන ලෙසත් ඔවුන් පවසන්නේ.
ඡන්ද හිමි නාමලේඛනයෙන් කෝටි 13 ක පමණ පිරිසකගේ නම් ඉවත් කිරීමට විරෝධය පළ කරමින්ඉන්දියාවේ මෙම විරෝධතා ආරම්භ තිබෙනවා.
විරෝධතා මෙහෙයවන්නේ කොක්රෝච් ජනතා පක්ෂය' (Cockroach Janta Party - CJP), අනෙකුත් විපක්ෂ පක්ෂ සහ ශිෂ්ය සංවිධාන එක්වයි.
ප්රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර් එම දුරෙන් ඉල්ලා අස්විය යුතු බවට ඔවුන් ඉල්ලා සිටිනවා.
අගමැති නරේන්ද්ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) ඡන්දය නොදෙන දුප්පත්, නිවාස අහිමි සහ මුස්ලිම් ඇතුළු සුළුතර ජන කොටස් ඉලක්ක කරගනිමින් ඡන්ද හිමි නාම ලේඛනයෙන් නම් ඉවත් කිරීම සිදුකර ඇති බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.
එය ප්රජාතන්ත්රවාදය අමු අමුවේ ඝාතනය කිරීමක් බවද ඔවුන් පවසනවා.
කෙසේ වෙතත්, අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සහ ඉන්දීය මැතිවරණ කොමිසම මෙම චෝදනා පිළිගෙන නැහැ.
මැතිවරණ කොමිසම පවසන්නේ මියගිය, වෙනත් ස්ථානවලට පදිංචියට ගිය සහ එකම නම දෙපාරක් සඳහන් වූ නුසුදුසු ඡන්දදායකයින් පමණක් ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කළ බවයි. එසේ නොමැතිව කිසිවෙකුගේ හෝ නම අත්වැරැද්දකින් ඉවත් වී ඇත්නම් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද ඉන්දීය මැතිවරණ කොමිසම පැවසුවා.
විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය කනස්සල්ල පළ කළ පළමු අවස්ථාව මෙය නොවෙයි.
මීට පෙරද සිදුවූ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව ඔවුන් කනස්සල්ල පළ කළා.
එහෙත් ඉන්දියාව දිගින් දිගටම ප්රකාශ කරන්නේ මෙවැනි චෝදනා තම රටේ අභ්යන්තර කටයුතුවලට අතපෙවීමක් බවයි.




