ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීම ඇතුළු මෝටර් රථ ප්‍රවාහන පනතේ චෝදනා කිහිපයකට වරදකරු කෙරුනු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දඩුවම් නියම කළා.
මීට පෙර නඩු වාරයකදී ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා පැවසුවේ මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ තමන්ට නගා ඇති මෙම චෝදනාවලට වරද පිළිගන්නා බවයි.
ඒ බවද සැලකිල්ලට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද සිය නියෝගය ප්‍රකාශයට පත් කළා.
හිටපු අමාත්‍යවරයාට එරෙහි පළමු චෝදනාව වූයේ 2023 වසරේ දෙසැම්බර් මස 5වනදා සිට 2024 වසරේ ඔක්තෝබර් මස 4වනදා දක්වා කාලසීමාව තුළ ලියාපදිංචි නොකල වාහනයක් භාවිත කිරීමයි.
එම චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු අමාත්‍යවරයාට රුපියල් 5000ක දඩයක් නියම කෙරුණු අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිර දඬුවමක් නියම කෙරුණා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට එරෙහි දෙවන චෝදනාව වූයේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ ලිඛිත අනුමැතියක් නොමැතිව එකලස් කරන ලද වාහනයක් බව දනිමින් එය ධාවනය කිරීමයි.
ඒ සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු අමාත්‍යවරයාට රුපියල් ලක්ෂයක දඩයක් නියම කෙරුණා.
ඊට අමතරව එම චෝදනාව සඳහා වසර 5ට අත්හිටවූ මාස 6ක ලිහිල් සිරදඬුවමක්ද නියම කරන බව නියෝගය සඳහන්.
හිටපු අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි තුන්වන චෝදනාව වූයේ වාහනය සඳහා අංක තහඩුව වංචනිකව භාවිත කිරීමයි.
ඒ සම්බන්ධයෙන්ද වරදකරු කෙරුණු හිටපු අමාත්‍යවරයාට එම චෝදනාව සඳහා රුපියල් 25,000ක දඩයක් නියම කෙරුණා.
එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිර දඬුවමක් නියම කරන බවයි නියෝගයේ සඳහන් වන්නේ.




