මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු ලෙස ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා වසර ගණනාවක් ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමනයට මැදිහත් වී තිබෙනවා.

එහිදී ලෝක බැංකුවේ පහසුවෙන් ව්‍යාපාරකරණයට අදාළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව, සුළු පරිමාණ ආයෝජකයින්ගේ රැකවරණය පිළිබඳ ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාව 74 වන ස්ථානයේ සිට 28 වන ස්ථානය දක්වා ඉහළට ගෙන ඒමට ඒ මහතා සමත් වුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇති ඔහු මැලේසියාවේ කළමනාකරණ හා විද්‍යා විශ්වවිද්‍යාලයෙහි ආචාර්ය උපාධිධාරියකුද වනවා.

එමෙන්ම ඔහු එක්සත් රාජධානියේ, කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනය සහ වරලත් සහතිකලත් ගණකාධිකාරි සංගමයේ සාමාජිකයෙක්.

ඒ මහතා මූල්‍ය විශුද්ධිකරණයට එරෙහි කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස ප්‍රාග්ධන වෙළෙඳපොළ නියෝජනය කරමින් කටයුතු කර ඇති අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලැයිස්තුගත කිරීම් සඳහා වන ප්‍රතිපත්තිද ඇතුළුව මූල්‍ය ක්ෂේත්‍රය තුළ දැනට ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති සකස් කිරීමටද දායක වී තිබෙනවා.

එමෙන්ම ඔහු පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරි තනතුර ඇතුළු ප්‍රධාන තනතුරු රැසක්ද හොබවා ඇති අයෙක්.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මීට පෙර මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ඉකුත් සිකුරාදා එම ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා.

———————————————-Update——————————————————————–

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධූරයෙන් විශ්‍රාම ගියා.

ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතයි.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.