2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දිනාගැනීමේ ඉන්දියාවේ අභිලාෂය නැවත වරක් තහවුරු කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගෝලීය ක්‍රීඩා තරගාවලි සඳහා සූදානම් වන අතරතුර ඉන්දීය ක්‍රීඩාව ඉහළ තලයකට ඔසවා තැබීමේ හැකියාව රටේ තරුණ පරපුර සතු බව ප්‍රකාශ කළේය.
'ජයිගෝපාල් ගරෝඩියා හින්දු විද්‍යාලයේ' ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මෝදි පෙන්වා දුන්නේ මෙවැනි දැවැන්ත ජාත්‍යන්තර තරගාවලි සඳහා සත්කාරකත්වය දැක්වීම තුළින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය යටිතල පහසුකම්, ජාත්‍යන්තර අත්දැකීම් සහ සහයෝගය හිමිවන බවයි.
"ඉන්දියාව 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට සූදානම් වෙනවා. එමෙන්ම 2036 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දිනාගැනීමේ සිහිනය කරාත් අපි ඉදිරියටම යනවා," යනුවෙන් අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.
"ඉදිරි වසරවලදී ලොව විශාලතම ක්‍රීඩා උළෙල ඉන්දියාවේදී පැවැත්වෙන විට, ඉන්දීය තරුණ පරපුරට තමන්ගේ දක්ෂතා දැක්වීමට සුදුසු වේදිකාවක්, ශක්තියක් සහ උපරිම සහයෝගයක් හිමිවනු ඇති," යනුවෙන් ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තරුණ දක්ෂතාවලට පණ පෙවීම සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමටත්, ක්‍රීඩා පද්ධතිය ශක්තිමත් කිරීමටත් රජය පියවර ගනිමින් සිටින බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, ක්‍රීඩාව යනු හුදෙක් විනෝදාංශයක් ලෙස පමණක් නොව, සාර්ථක වෘත්තීය මාවතක් ලෙස තෝරාගැනීමට තරුණ තරුණයින් දිරිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.



