මෙරට දෙකෝටියක් ජනතාවගේ කඳුළු පිසදැමීම උදෙසා රණවිරුවන් විශිෂ්ට කාර්යක් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එම කාර්ය වෙනුවෙන් ඔවුන් සියලු දෙනාට තම උත්තමාචාරයද පුද කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

රණවිරුවන් විසින් මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටනේදී ඔවුන්ගේ අරමුණ සහ ප්‍රාර්ථනාව වූයේ මාතෘභූමිය සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීම වන බවත් එම ප්‍රාර්ථනය ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

ඒ, අද (19) පස්වරුවේ බත්තරමුල්ලේදී පැවැති 17 වැනි ජාතික රණවිරු සැමරුමට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ

"සංවර්ධිත රටක් අවශ්‍යයි.. එය ඔබගේ ප්‍රාර්ථනයක්. ඔබ මේ මාතෘ භූමිය නිදහස් කිරීමේ සටනේදී ඔබට තිබුණා මාතෘ භූමිය නිදහස් කරගැනීම හා සමානවම අපේ රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ අරමුණ. ඒ වගේම සර්ව සාධාරණත්වය පිරි නීතිය අගයන රටක් ඔබ තුළ තිබුණා. ලෝකයේ දිනන රටක් ඒ ඔවුන්ගේ මරණාසන්න ප්‍රාර්ථනාවන්. ඔවුන් ජිවිතය පූජා කළේ එම ප්‍රාර්ථනාවන් සහිතව. මා ඔවුන්ගේ මේ විරු ස්මාරකය ඉදිරිපිට මා සපථ කොට කියන්න ලෑස්තියි ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද අනාගතය නිර්මාණය කිරීමේ වගකීම අපි බාර ගන්න බවත් ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් කිසිසේත්ම යටපත් කරන්න, පාවානොදෙන බවත් මා සපථ කරනවා. සෑම විජයග්‍රහණයක්ම සමරණ මොහොතකම අපි සිහිපත් කළ යුතු දෙයක් තියෙනවා මේ දොරකඩට වෙලා තම පියා එනතුරු බලා සිටින දූදරුවන් තවමත් සිටිනවා. ඔවුන්ට කිසිදාක තම පියාගේ සෙනෙහස ලබා ගැනීමේ වරමක් ලැබෙන්නේ නෑ. ඒ වගේම තම සැමියා අහිමි වූ බිරින්දෑවරුන්ට ඇගේ මුළු ජීවිත කාලය පුරාවටම රැව්පිලිරැව් දෙනවා. නැවත ඇයට ඈගේ ස්වාමියා ලැබෙන්නේ නෑ එය අපි දන්නවා. ඒ වගේම අහිමි වූ දරුවන්ගේ මතකය සමගින් අනෙකුත් දරුවන් දෙස බලා සිටින මව්වරුන් සහ පියවරුන් සිටිනවා. තවදුරටත් එම මව්පියවරුන්ට එම දරුවන් ලැබෙන්නේ නෑ කියලා අපි දන්නවා.

මේ සියලු දෙනා එක්ව රණවිරු ස්මාරකය ඉදිරිපිට ඔවුන් සොයනවා. තමන්ගේ දොරකඩට එන්නේ නැති බව සැබැව. තමන්ගේ හදවතේ ගැඹුරුම තැන තමන්ගේ ස්වාමියා. තමන්ගේ දරුවා, තමන්ගේ ඥාතියා, තමන්ගේ සොහොයුරා තැන්පත් වී ඇති බව සැබෑව. එහෙත් ඔවුන් සොයනවා. එහි තිබෙන නම සොයාගෙන මේ රණවිරු ස්මාරකය ඉදිරිපිට එහි තිබෙන නම සොයාගෙන, පපුවට අත තියාගෙන සුසුමක් හෙළනවා. මේ සංවේදීතාවයන්ට පිළිතුරක් ලබා දීමට අපිට පුළුවන්ද? අහිමි වූ වීර සෙබළුන් සෙබළියන් සමරණ අපට කළ හැකි වන්නේ ඔවුන් කළ වටිනා කැප කිරීමට ආචාරය පුද කිරීම පමණක්ද? ඔවුන්ගේ කැප කිරීම් අපට ස්මරණය කිරීමෙන් පමණක් සෑහිමකට පත්විය හැකිද? ඔවුන්ගේ කැපකිරීමට අපේ උත්තමාචාරය සහ ආචාරය පුදකිරීම පමණක්ද? අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ ඔහුට ආචාරය උත්තමාචාරය, ගෞරවය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන රාජ්‍ය නිර්මාණය කිරීමේ වගකීම ජීවතුන් අතර සිටින අපට පැවරී තිබෙනවා.

සෑම ව්‍යවසනයකදීම සෑම උවදුරකදීම, සෑම තර්ජනයකදීම ඔවුන් පෙරට ආ සාක්ෂි ඕන තරම් තිබෙනවා. සතුරු උවදුරකදී වේවා, ස්වභාවික ව්‍යවසනයකදී වේවා ඔවුන් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයේ අද්විතීය මෙහෙවර ඉටු කොට තිබෙනවා. යුද්ධයකදී රට ගලවා ගන්නවා වගේම ව්‍යවසනයකදී ජීවිත ගලවාගන්නත් ඔවුන් උදාර කැප කිරීම් කළ බව අපි දන්නවා. ඒ නිසා ඔවුන් හැමදාමත් අපේ හදවත්තුළ අනුස්මරණීයයි කියන සහතිකය මම ලබා දෙන්න කැමතියි.

මේ දුශ්කර ගමනේ අවසාන අරමුණ මේ රට දීප්තිමත් ආදර්ශමත් රටක් බවට පත් කිරීම බව සිහිපත් කල යුතුයි. මා කියනවා රණවිරුවන්ගේ ප්‍රාර්ථනාව එයයි. එම ප්‍රාර්ථනය ඉටු කිරීමේ වගකීම අපට තිබෙනවා... අපි ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වැඩි කරමින් සිටිනවා. අපේ රටේ නීතිය, අධිකරණයේ ස්වාධිනත්වය අගයන රටක් බවට පරිවර්ථනය කරලා තිබෙනවා. මේ රට බේරා ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් අපේ උරහිස් මත තබාගෙන අපි ආදර්ශවත් රටක් ගොඩනැගීමේ අධිශ්ඨානශීලි ගමනක ගමන් කරමින් සිටිනවා. මා හිතනවා මේ ඔවුන්ගේ ප්‍රාර්ථනාවයි. 

යුද්ධයේ කතාව ඉතිහාසයට පවරලා සාමයේ තිරසාර වන්දනාව වර්ථමානයට එකතු කරගෙන තිබෙනවා. අපේ වන්දනාව සාමයේ වන්දනාවයි. යුද්ධය ඉතිහාසයට උරුම කතාවත් බවට පරිවර්තනය කළ යුතුයි. අපේ රටේ ත්‍රිවධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ තමන්ගේ යුතුකම ඉටුකළා. ඔවුන් යුද්ධ කළේ බෙදුම්වාදයට එරෙහිව. මේ මාතෘභූමිය සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලු දෙනාටම ඕනෑම තැනක ජීවත්වීමේ අයිතිය තහවුරු විය යුතු මාතෘභුමියක්. ඒ මාතෘභුමිය බෙදා වෙන් කිරීමට එරෙහිව ඔබ සටන් කළා. ඔවුන් යුද්ධ කළේ මිනිස්සුන්ට එරෙහිව නෙමෙයි, ජාතියකට එරෙහිව නෙමෙයි යුද්ධයේ බිහිසුණු ප්‍රතිවිපාක සියලු ජාතීන්ට අත්විඳින්න සිදුවුණා. එකම රටක තරුණයෝ මේ යුද්ධය නිසා අහිමි වුණා. අවස්ථාවාදී බලලෝභී දේශපාලනඥයින්ගේ සහ අන්තවාදීන්ගේ කැත පන්නයේ න්‍යාය පත්‍ර නිසා එකම රටක මිනිස්සු දෙකට බෙදුණා. උතුරේත් දකුණේත් බලලෝභී කැත පන්නයේ දේශපාලනය මේ යුද්ධය නිර්මාණය කළා. දේශපාලන අශිෂ්ටත්වය සහ මනුෂ්‍යත්වය පාපන්දුවක් බවට පත් කළා. අදත් සමහරු යුද්ධය හොඳද නරක ද කියලා තර්ක කරනවා. මා යුද්ධය හොඳඳ නරකද කියලා විනිශ්චයක් ලබා දෙන්න සූදානම් නෑ. හැබැයි මා කළ යුත්තේ නැවත කිසිදාක යුද්ධයක් නොවන විදිහට වගබලා ගැනීමයි. මා ඉදිරිපිට ඉන්න රණවිරුවන්ගේ ප්‍රාර්ථනය කුමක්ද? ඔබ ඔබගේ දරුවාව යුද බිමට කැඳවන රාජ්‍යයක් කැඳවීමට අවශ්‍යද? ඔබගේ ස්වාමියා නැවත යුද්ධයකට කැඳවන රාජ්‍යක් අවශ්‍යද ? මා සහ මගේ රජය පෙනී සිටින්නේ යුද්ධය හොඳඳ නරකද කියා වග විභාග කරන්න නෙමෙයි. මා සහ මගේ රජය පෙනී සිටින්නේ යුද්ධයක් ඇති නොවන විදිහට වගබලා ගැනීමටයි. මම හිතනවා එය තමයි සියලුම රණවිරුවන්ගේ සහ මේ රටේ දේශප්‍රේමීන්ගේ ප්‍රාර්ථනය කියලා.

අපි කැපවී සිටිනවා ප්‍රජාතන්ත්‍රවාදි සහ නිදහස් රාජ්‍යක් වෙනුවෙන්. හැකියාව දක්ෂතාව කුසලතාව ඇති සියලු දෙනාට ඉදිරියට එන්නට හැකි රටක් නිර්මාණය කළ යුතුයි. විශේෂ වරප්‍රසාදවලින් වැජඹුණු සමහරුන්ට එය වේදනාවට කාරණයක් වෙන්න පුළුවන්. සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන වීම, අතිවරප්‍රසාද සහිත කණ්ඩායම්වලට වේදනාවට හැකි කාරණවක් වෙන්න පුළුවන්. තමන් විශේෂිතයි කියලා හිතමින් අනෙකා පීඩාවට පත් කළ අය තවදුරටත් විශේෂ නොවීම නිසා කළබල වෙන්න පුළුවන්. තමන් විශේෂයි කියලා හිතුවා, තමන් නීතියට වඩා උඩින් කියලා හිතුවා, තමන්ට විශේෂ වරප්‍රසාද තියෙනවා කියලා හිතුවා. හැබැයි ඒවා අහිමි වෙනකොට කළබල වෙන්න පුළුවන්. ඉතිහාසයේ කිසිදා නොවුණු විදිහට තරාතිරම නොබලා නීතිය හඹා ඒම ගැන ඔවුන් වියරු වැටෙන්න පුළුවන්. නමුත් අපි සර්ව සාධාරණත්වය උදෙසා කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. ජනතාවගේ අභිලාෂයන් තිරසාරව ඉටු කරනවා. මම හිතනවා එය මේ මියගිය රණවිරුවන්ගේ ප්‍රාර්ථනයයි.

මේ රටේ දෙකෝටියක් ජනතාවගේ කඳුළු පිසදැමූ සියලු දෙනාට අපේ උත්තමාචාරය සහ ගෞරවය අපි පිරිනමනවා. එහිදී විශිෂ්ට සේවාවක් අපේ රණවිරුවන් සිදුකොට තිබෙනවා. ඔවුන් නොතිබෙන්න මේ දෙකෝටියක් වූ ජනතාවගේ කඳුළු පිසදමන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඔබ ඒ කාර්යයේ නියමුවන් ඔබට නැවත නැවතත් අපේ ගෞරවය අපි පුදකරනවා. තවදුරටත් යුද්ධය නොමැති සාමය පිරුණු නිවහල් රටක පෙරට යන්නට අපි ආරාධනා කරනවා."