වත්තේගම, යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක දමාගොස් සිටියදී සොයාගත් අවුරුදු 04 ක් වයසැති දැරිය රැකබලා ගැනීම සදහා තමන් වෙත ලබාදෙන ලෙසට බොහෝ පාර්ශව පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එලෙස දුරකතන ඇමතුම් ලැබුණු බවයි පොලීසිය පැවසුවේ.
එම ඇමතුම් ලබාදුන් පිරිස අතර දරුවන් නොමැති අඹුසැමියන් බොහෝ පිරිසක්ද වනවා.
මේ අතර එම දැරිය මහගම දමාගොස් පලාගිය ඇයගේ මව සහ තවත් පුද්ගලයෙකු හාලිඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදීයි.
ඔවුන් දෙදෙනා රැගෙන ඒම සදහා වත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට හාලිඇල පොලිස් ස්ථානය වෙත පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.
ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ පෙරවරුවේ දැරිය එම පාළු ස්ථානයේ දමාගොස් තිබියදි වත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි.
එම අවස්ථාවේ දැරිය දැඩි කුසගින්නේ පසු වු බවත් ඇයට කිරි හා ආහාර ලබාදීමට කටයුතු කළ බවත් පොලීසිය පැවසුවා.
පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටි දැරිය ඉන්පසුව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගත්තා.
දැරිය මහමඟ දමා ගිය ඇයගේ මව සහ පිරිමි පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් තිබුණා.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ වනවිට විශේෂ විමර්ශන ආරම්භ කර තිබූ පසුබිමක් තුළයි හාලිඇල ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකාර කාන්තාව සිය සැමියා අතහැර දැරිය ද කැටුව මෙම පුද්ගලයා සමග ජීවත්ව ඇති බවයි වාර්තා වුණේ.
ඔහු විසින් දැරියට නිතර නිතර මෙලෙස පහරදී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
දැරියගේ නිත්‍යානුකූල පියා මේ වනවිට වත්තේගම පොලීසිය වෙත පැමිණ ඇති බවද වාර්තා වුණා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පවසනවා.
ඒ, නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.
මාධ්‍යවේදී: "පහන් පහරදීම සිද්ධියත් එක්ක දැරියක් වත්තේගම පාරක දාලා ගිහිල්ලා කියන සිද්ධියක් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් මොකක්ද අමාත්‍යාංශය විදිහට ඔබතුමාලා ගන්නා වූ ක්‍රියාමාර්ගය?"
නියෝජ්‍ය අමාත්‍යවරයා: "අනිවාර්යයෙන්ම කොතැනක දරුවෙකුට අසාධාරණයක් වුණත්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විදිහට ජාතික ළමාරක්ෂක අධිකාරියත් එක්කම පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒ ආයතනවලට අදාළ නිලධාරීන් ලවා ඊට අදාළව අවශ්‍ය සොයා බැලීම් ටික, විමර්ශන ටික සිදු කරනවා. ඒ එක්කම ශ්‍රී ලංකා පොලීසිය විදිහටත් ඒ පැත්තෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය විමර්ශන ටික සිදු කරනවා.එතකොට ඇත්තටම මෙවැනි සෝචනීය සිදුවීම් අපිට වරින් වර මේ රටේ දකින්න ලැබෙනවා. ඉතින් සමාජයක් විදිහට කොතනද ඉන්නේ? ඒක තමයි ලොකුම ගැටලුව. දරුවෙක් එවැනි තත්ත්වයකට පත් කරනවා නම් මොකක්ද මේ සමාජය? මං හිතන්නේ මේක අපි වෙනස් කරන්නට අපිට හැමෝටම එක පැත්තකින් සාමූහික වගකීමක් තියෙනවා. රාජ්‍ය යන්ත්‍රණය විදිහට මැදිහත්වීම් කරන අතරතුර, ඊට පස්සේ දේශපාලන අධිකාරිය විදිහට සහ පොදුවේ අපි කියනවා මිනිස්සුන්ට අපේ ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කරන්නට, මෙවැනි දේවල් සිදු නොවෙන්නට, සදාචාරාත්මක පැත්තෙන් මේ සමාජය ගොඩනඟන්නට සෑහෙන කාර්යභාරයක් අපිට තියෙනවා. ඉතින් මේ සිදුවීම සම්බන්ධයෙන් විතරක් නෙමෙයි, එවැනි ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් ඉතා දැඩිව ඒ අවශ්‍ය විමර්ශන කටයුතු කරනවා."
මාධ්‍යවේදී: "මේ වගේ සිදුවීම් අපිට වරින් වර අපිට මේ සම්බන්ධයෙන් අහන්න දකින්න ලැබෙන සිදුවීම් වෙනවා. දැන් මේ වගේ සිද්ධියක් වාර්තා වුණාම මැදිහත්වීමක් වෙනවා. නමුත් ඔබතුමාලා සෑම මොහොතකම ළමා හිංසනයන් වැළැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නවා කියන එක සෑම මොහොතකම කටයුතු ප්‍රකාශ කරා. නමුත් ක්‍රියාමාර්ග ගනිමිනුත් සිටින කාලසීමාවක් තමයි මේ කාලසීමාව අමාත්‍යාංශය විදිහට. ඉදිරියේ මොකක්ද ඔබතුමාලගේ නව වැඩපිළිවෙලක් විදිහට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ළමයින්ට වන හිංසන වැළැක්වීම සඳහා?"
නියෝජ්‍ය අමාත්‍යවරයා: "ඇත්තටම අපේ සමහර පනත් තියෙනවා යාවත්කාලීන වෙලා නැහැ. නීතිමය පැත්තෙනුත් අපිට සමහර සංශෝධන කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් 1998 ළමාරක්ෂක අධිකාරී පනත, දැන් සෑහෙන කාලයක් වෙනවා ඒ පනත ගෙනැල්ලා. ඒ වගේ දරුවන් සම්බන්ධයෙන් තියෙන පනත් ගත්තත්, එහෙම නැත්නම් නීති සම්බන්ධයෙන් ගත්තත් යම් යම් ගැටලුකාරී තැන් තියෙනවා. අපි මෙන්න මේවට ඒ පනත් සම්බන්ධයෙන් සමාලෝචනයක් කරගෙන යනවා. මේක යාවත්කාලීන... අද සමාජ ඉතා වෙනම තැනක තියෙන්නේ. තාක්ෂණය දියුණු වෙලා, ස්මාර්ට්ෆෝන් ආවාට පස්සේ සමහරවිට දරුවන් අපචාරයට පත්වෙන විධික්රම පවා වෙනස් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා මේ..."




