මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳ පාර්ශව කිහිපයක් මාධ්‍ය හමුවූ පවත්වමින් සහ තවත් ස්ථානවලදී අද අදහස් පල කළා.
සිරකරුවන් සුරැකීමේ කමිටුව විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු සුදේශ නන්දිමාල් මහතා පැවසුවේ රැඳවූවන් මත පටවා ඇති දරා ගත නොහැකි පීඩනය නිසා මෙවැනි නොසන්සුන්තා ඇති වන බවයි.
ඇතැම් නිලධාරීන් රැඳවූවන්ගෙන් පළිගන්නා ලෙස කටයුතු කරන බවට ද ඔහු චෝදනා කළා.
සමගි ජන බලවේගය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකදී එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පලකළා.
ඔහු පැවසුවේ වැඩ බැරි බව පිළිගෙන අධිකරණ අමාත්‍යවරයා මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද දැන් ඉල්ලා අස්විය යුතු බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන මධුර විතානගේ මහතා ද මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අද අදහස් පළ කළා.
ඔහු පැවසුවේ බන්ධනාගාර තුළ මෙවැනි නොසන්සුන්තා ඇති විය හැකි බවට කල් ඇතිව අනතුරු ඇඟවීම් ද කර තිබුණු බවයි.
එසේ තිබියදීත් ඒවා වලක්වා ගැනීමට විෂය භාර අමාත්‍යවරයා හෝ ආණ්ඩුව අසමත් වූ බවටද ඔහු චෝදනා කළා.


