හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසනවා.

ඒ, ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සටන් අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීම අවසන් අදියරට පැමිණීම හේතුවෙන්.

රාජ්‍ය රූපවාහිනියට අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යාවරයා පවසා ඇත්තේ ඉරානයට එරෙහිව පනවා ඇති එක්සත් ජනපද අවහිර කිරීම් ඉවත් කිරීම ද මෙම ගිවිසුමට ඇතුළත් වන අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා පසුව ආරම්භ කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, ගිවිසුමේ ඇතැම් කරුණු එක්සත් ජනපද නිලධාරීන් විසින් තහවුරු කර ඇති අතර, ඉරානයට ලබාදෙන ආර්ථික සහන එරට ගිවිසුම්ගත බැඳීම් ඉටුකිරීම මත රඳා පවතින බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

ඉරානයට, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර මාලාවක් සමඟ මේ වසරේ පෙබරවාරි 28 වෙනිදා මෙම ගැටුම ආරම්භ වුණා.

ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයේ අමෙරිකානු මිත්‍ර රටවලට ප්‍රහාර එල්ල කෙරුණා.

එමෙන්ම ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වාභාවික වායු ප්‍රවාහනය සඳහා අතිශය වැදගත් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියද වසා දැමුණා.

අප්‍රේල් මාසයේදී සටන් විරාමයකට එකඟතාවක් ඇති වූ නමුත්, ඉන් පසුවද දෙපාර්ශ්වය අතර වරින් වර ප්‍රහාර සහ වෙඩි හුවමාරු සිදු වුණා.

මේ අතර මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ද සිය X ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා.

යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමෙහි මීළඟ පියවරයන් සාර්ථක කර ගැනීම සඳහා තමන්, දෙපාර්ශ්වය සමඟම සමීපව කටයුතු කරමින් සිටින බවයි පකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

මෙම ගැටුම් පැවති සමය පුරාම දෙරට අතර ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයායි.