2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට බැඳුම්කර වල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184 කට අධික මුදලක් ආයෝජනය කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි චෝදනා දූෂණ විරෝධී පනතේ 67(3) වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
අල්ලස් කොමිසම සඳහන් කරන්නේ දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව විත්තිකරුට එරෙහි අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස තුනක් ඇතුළත ඔහු විසින් මෙම නඩුවට අයත් රුපියල් එකසිය අසූ හතර කෝටි තිස් දෙලක්ෂ 67,595යි ශත 65ක මුදලක් දඩයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට බැරකළ යුතු බවයි.
අදාල කාලසීමාව තුළ කබ්රාල් මහතා විසින් එම මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් දූෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන්.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
එහිදී අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ මෙම චෝදනා පත්‍රයේ රජයට පාඩු කළ බව සඳහන් රුපියල් එකසිය අසූ හතර කෝටි තිස් දෙලක්ෂ 67,595යි ශත 65ක මුදල දඩයක් වශයෙන් අය කර ගැනීමේ කොන්දේසියට යටත්ව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට සූදානම් බවයි.
එම ඉල්ලීමට කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා දැඩි විරෝධය පලකළා.
ඉන් අනතුරුව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ එසේ නම් විත්තිකාර කබ්රාල් මහතා දූෂණ විරෝධි පනතේ 67(3) වන වගන්ති ප්‍රකාරව කොන්දේසි වලට යටත්ව එම විත්තිකරු නිදහස් කරන ලෙසයි.
ඒ අනුව හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දූෂණ විරෝධී පනතේ 67(3) වගන්තිය යටතේ කොන්දේසියට යටත්ව නිදහස් කිරීමට නියෝග කළ විනිසුරුවරයා මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන් වන දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එම්.ඒ. කරුණාරත්න යන අය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ කොන්දේසි විරහිතව නිදහස් කිරීමටත් නියම කළා.
මෙම චෝදනාව සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මීට පෙරද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.
එම අධි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත් කොළඹ මහාධිකරණය අදාළ අධි චෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරමින් විත්තිකරුවන් නිදහස් කිරීමටද නියෝග කර තිබුණා.
ඉන් අනතුරුව අල්ලස් කොමිසම විසින් පසුගිය වසරේදී මෙම නඩුව යළි ගොනුකරනු ලැබුවා.
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම නඩුවෙන් චූදිතයින් නිදොස් කොට ඇති බවට පලවන මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවයි.




