ජනතාවගේ ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව ඇති පානීය ජල ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් හඳුනාගෙන ඒවා ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම ජනතාවගේ වත්මන් අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කරමින් සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදි නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ, ජාතික පානීය ජල, ප්‍රජා ජලසම්පාදන සහ අපජල කළමනාකරණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය, අයවැය ප්‍රතිපාදන සහ අවශ්‍යතා මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට අදාළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

අදාළ ව්‍යාපෘති කඩිනමින් හඳුනා ගනිමින් ඒවා ආරම්භ කළ හැකි දිනය, අවශ්‍ය ප්‍රතිපාදන සහ අවසන් කෙරෙන දිනය පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම කිසිසේත් මුදල් ගැටලුවක් කර නොගන්නා ලෙසත් ව්‍යපෘති සැලසුම් කර අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම,මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි විදේශ ණය පිළිබඳ බලා නොසිට හැකිතරම් දේශීය අරමුදල්වලින් ව්‍යාපෘති නිම කිරීමට අවධානය යොමු කරන ලෙසටද උපදෙස් ලබාදී තිබෙනවා.

ව්‍යාපෘති සැලසුම් කිරිම සඳහා කොන්ත්‍රාත් පදනම මත කාර්යමණ්ඩල බඳවා ගන්නා ලෙසයි එහිදී අවධාරණය කර ඇත්තේ.

ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරන මුදල් එම වසරේදීම අදාළ ව්‍යාපෘති සඳහා යෙදවිය යුතුයි.

එසේ නොමැති වූ විට ව්‍යාපෘති සඳහා අමතර වියදමක් දැරීමට සිදුවීම, වැය කරන මුදලෙහි ප්‍රතිලාභ අහිමි වීම සහ එම ව්‍යාපෘති වෙනුවෙන් ඉදිරි වසරේද ප්‍රාග්ධන ප්‍රතිපාදනවලින් කිරීමට සිදුවීම වැනි අහිතකර තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.