මේ වනවිට පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ලබාදීම හේතුවෙන් ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි සමාජ මාධ්‍ය තුළ ඉකුත් දිනවල දැඩි දැඩි කතාබහක් ඇති වුණා.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ලද තොරතුරක් මත පදනම්ව මෙම පරීක්ෂණය සිදුකරන බවයි.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ලන්ඩන්හි වෙම්බ්ලි නගරයේදී මුහුණ පෑමට වූ සිද්ධිය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.

මඩකලපුව, වාලච්චේන කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මගින් පවත්වාගෙන යන පුරාවිද්‍යා ස්ථානවලට ගමන්කරන දිශා පුවරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.

මේ අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළා.

ඒ, එම ප්‍රාදේශීය සභාවේ සභාපපතිවරයා, උප සභාපතිවරයා ඇතුළු සිව්දෙනෙකු අධිකරණයට අද භාර වීමෙන් අනතුරුවයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එක් අයෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. එමෙන්ම සිද්ධියට අදාළ නඩුව ලබන මස 15 වැනිදා යළි කැඳවීමටද මහේස්ත්‍රාත් අධිකරණය මෙහිදී නියෝග කර තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවස්තු පවතින ස්ථානවල දිශානතිය සලකුණු කරමින් දිශා පුවරු සහ සංඥා පුවරු සවිකිරීම පසුගිය නොවැම්බර් මස 03 වනදා ආරම්භ කර තිබුණා.
එම සවිකරන ලද පුරාවිද්‍යා සංඥා පුවරු අදාළ ප්‍රාදේශීය සභාවේ බලධාරීන් විසින් ගලවා ඉවත් කර තිබුණේ පසුගිය 22 වැනිදායි. එම පුවරු ගලවා ඉවත් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයේ ද සංසරණය වුණා.