තමා ආබාධිත භාවයෙන් පෙලෙන නිසා තාක්ෂණ උපාධිය හැදෑරීමට අවස්ථාව ලබාදිය නොහැකි බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමි ශිෂ්‍යයෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන පෙබරවාරි මස 24 වනදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගේන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 24 වනදා කැදවන ලෙසයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි මනුජය අත්තනායක නමැති ශිෂ්‍යයෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා බණ්ඩාරවල ධර්මපාල විද්‍යාලයේ තාක්ෂණ විෂය ධාරාවෙන් අ.පො.ස උසස් පෙළ පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් ලැබූ ආබාධිත ශිෂ්‍යයෙකු බවයි.

2024/2025 වර්ෂය සඳහා තාක්ෂණ උපාධිය හැදෑරීමට තමා අයදුම් පතක් ඉදිරිපත් කළ ද ආබාධිත ශිෂ්‍යයන්ගේ කාණ්ඩය යටතේ තාක්ෂණ උපාධිය හැදෑරීමට ප්‍රතිපාදන නොමැති බව සඳහන් කරමින් එම ඉල්ලීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ප්‍රතික්ෂේප කළ බවත් ඔහු චෝදනා කළා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මෙම තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.

ඊට අමතරව තාක්ෂණ උපාධිය හැදෑරීමට තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු ආබාධිත ශිෂ්‍යයන්ට අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා "ප්‍රතිපත්තියක්" සකස් කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩි දුරටත් අධිකරණයෙන් අයැද සිටි.