පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී චාවකච්චේරි ප්‍රාදේශීය සභාව සඳහා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් තේරී පත් වූ මන්ත්‍රී යෝගානන්දන් කල්‍යාන් මහතාට එම මන්ත්‍රී ධූරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අදාල මන්ත්‍රීවරයා ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් අදාල ප්‍රදේශයේ ඡන්දදායකයෙකු වන ගණේශ මූර්ති ජනගන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව
අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැදවනු ලැබුවා.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර මන්ත්‍රීවරයා අදාළ ප්‍රාදේශීය සභා බල සීමාවෙන් පිටත පදිංචිව සිටින බව සඳහන් කළා.

ඔහුට එම ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයකු වශයෙන් තේරී පත්වීමට නීත්‍යානූකූල සුදුසුකමක් නොමැති බව ඔහු කියා සිටියා.

ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා..

වග උත්තරකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය කුමාර් ගුරුබරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා චාවකච්චේරි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සතියට දින කිහිපයක් පදිංචිව සිටින බවත් ඒ අනුව ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවකු ලෙස සැලකිය යුතු බව තර්ක කළා.

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය කියා සිටියේ තේරීම් බාර නිලධාරියා කර ඇත්තේ විධායක රාජකාරියක් බැවින් ඔහුගේ තීරණය බලරහිත කළ නොහැකි බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් අතර වගඋත්තරකාර මන්ත්‍රීවරයා එම ධූරයේ කටයුතු කිරීම වලක්වාලන අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා.