රත්මලාන ඥාණේන්ද්‍ර මාවතේ නිවසකට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද උදෑසන 6යි 20ට පමණ එල්ල වී ඇති එම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

අදාල නිවසට අත් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කර ඇති අතර පුපුරා ගොස් ඇත්තේ එක් අත්බෝම්බයක් පමණක් බවයි පොලීසිය පැවසුවේ.

එම ස්ථානයේ රැදී සිටින නෙත් නිව්ස් නියෝජිත දර්ශාන් කානිල් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය මේ වනවිටත් විමර්ශන සිදු කරන බවයි.

පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් හේතුවෙන් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කෙරෙනවා.

මේ අතර ඊයේ රාත්‍රියේ දෙහිවල කඩවත පාරේ ව්‍යාපාරික ස්ථානයක සිටි පුද්ගලයෙකු ඉලක්ක කරමින් සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ත වුණා.

බේකරියක හිමිකරුවෙකු ඉලක්ක කරමින් එම වෙඩි තැබීම සිදුකිරීමට උත්සහ දරා තිබූ අතර එම අවස්ථාවේ දී වෙඩික්කරුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැතිවීම හේතුවෙන් එම උත්සහය ව්‍යර්ත වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී බේකරි හිමිකරු, වෙඩික්කරු සමඟ පොරබදා තිබෙනවා. පසුව වෙඩික්කරු ගිනි අවියද දමා එම ස්ථානයෙන් පලාගොස් ඇති බවද පොලීසිය සඳහන් කළා.