හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් හම්බන්තොට, නාගරවැව ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

34 හැවිරිදි වියේ පසුවන එම සැකකරු බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබලෙකු බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අවිස්සාවේල්ල සහ කොල්ලුපිටිය ප්‍රදේශවලදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් අනුව හංවැල්ල ප්‍රදේශයේ සගවා තැබූ මෙරට නිෂ්පාදිත මිලි මීටර් 09 වර්ගයේ පතරොම් යෙදිය හැකි ගිනි අවියක්, මිලි මීටර් 09 වර්ගයේ පතරොම් 04ක්, මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතරොම් යෙදිය හැකි ගිනි අවි 02ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවා. සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනවා.