පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තුවට තේරී පත් වූ නියෝජිතයන්ට සහ ඔවුන්ගේ කලත්‍රයන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම් අරමුණු කර ගෙන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති බවයි කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ.

එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය මේ වන විට ලැබී තිබෙනවා.

මේ අතර රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය වසර 30ක කාලයක් සඳහා පුද්ගලික ආයෝජනයක් මඟින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් තරගකාරී සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ.