නිවෙස්වල සුරතලයට සතුන් ඇති කිරීම අලුත් කතාවක් නොවෙයි.

එහෙත් නිවෙස්වල සුරතලයට සර්පයින් ඇති කිරීමනම් තරමක් අමුතු මෙන්ම අලුත් කතාවක්. එහි විශේෂත්වය වන්නේ දැන් සුරතලයට සර්පයින් ඇති කිරීම නව රැල්ලක් බවට පත්වෙමින් පැවතීමයි.

මේ කතාව මෙරට පරිසර පද්ධතියට එල්ල වී ඇති මෙම අලුත්ම තර්ජනයක් පිළිබඳවයි.

වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති සහ සයිටිස් සම්මුතියේ වගන්ති උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස සර්පයන් 06 දෙනෙකු රැගෙන ආ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත්තා.

ඒ, ඇය “හරිත මාවත” ඔස්සේ යාමට තැත් කළ අවස්ථාවේදීයි. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් තමන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මතයි මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක්.

ඇය මෙම සර්පයන් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ, එතැන් සිට ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ සූක්ෂම ලෙස මෙම සර්පයන් ඔතා සගවා ගෙන පැමිණ තිබූ බවයි රේගු නිලධාරින් පැවසුවේ.

මෙලෙස රැගෙන ආ සර්පයින් අතර කහ ඇනකොන්ඩා, බෝල් පයිතන්, ස්පෙකල්ඩ් කින්ග් ස්නේක් සහ හොන්ඩියුරානු කිරි සර්පයා යන වර්ග වල සර්පයන් අයත්.

ඇය මෙම සර්පයින් රැගෙන විත් තිබුණේ අලෙවි කිරීම සඳහායි. ඔවුන් මිළදී ගන්නා පිරිස් කෙටි කාලයක් මෙම සර්පයින් නිවෙසේ ඇති කරන බවයි වාර්තා වී ඇත්තේ.

පසුව මෙම සර්පයින් විශාල ශරීර ඇති සර්පයින් බවට පත් වීමත් සමගම ඔවුන් තවදුරටත් නිවෙස්වල තබා ගැනීමට අසීරු වීම හේතුවෙන් මෙරට වනාන්තර සහිත ප්‍රදේශ වෙත මුදා හැරීම සිදු කර තිබෙනවා. කෙසේවෙතත් නිලධාරින් පවසන්නේ එය මෙරට පරිසර පද්ධතියට දැඩි අහිතකර බලපෑමක් ඇති වන බවයි.

එමෙන්ම ගුවන් යානයක් තුළ මෙවැනි ජීවී සතුන් රැගෙන ඒම නීතිවිරෝධී මෙන්ම අතිශය අනතුරුදායක ක්‍රියාවක් ද වනවා. එබැවින් මේ පිළිබද ඇය පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන් රේගු පරිශ්‍රය වෙත කැදවා දැඩි ලෙස අවවාද කර, රේගු විමර්ශනවලින් පසුව මෙම සර්පයන් ආපසු රැගෙන යන ලෙසද රේගු නිලධාරීන් නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට විශාල වශයෙන් ගෘහාශ්‍රිතව සර්පයන් ඇති කිරීම සිදු වන අතර, ඔවුන්ගේ ආහාර පිණිස සුදු පැහැති කුඩා මීයන් විශේෂයක් ද, විශාල වශයෙන් මෙරටට ආනයනය කෙරෙමින් පවතින බව අනාවරණය කරගෙන ඇති බවයි රේගු නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ.