සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මෙගේ සමීපතම ගෝලයෙකු වන “ගම්පහ දේවා” නැමැත්තා තායිලන්තය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්. ඔහු අද උදෑසන තායිලන්තයේ බැංකොක් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. 39 හැවිරිදි දිසානායකගේ දේවාන්මිණි දිසානායක නැමති මොහු ගම්පහ ප්‍රදේශයේ මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියකටම චෝදනා ලබා ඇති පුද්ගලයෙක් වනවා. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා පෑලියගොඩ කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙත භාර දීමටයි පියවර ගෙන ඇත්තේ. මේ අතර, කෙහෙල්බද්දර පද්මෙ ඩුබායිහි සැගවී සිට පසුව තායිලන්තය වෙත පළා ගොස් සිටියදී, එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර මේ වන විට ඉන් මිදී අතුරුදන් වී සිටිනවා.