පසුගියදා තංගල්ල ආසන්න මුහුදු තීරයේදී අයිස් හා හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 376කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින, ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වන වසන්ත පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් හත් දෙනා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. දින හතක රැඳවුම් නියෝගයක් මත රඳවා ගෙන ප්‍රශ්න කළ මෙම සැකකරුවන් හත් දෙනා එලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන අවසන් වී නොමැති බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියා.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාව කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා ලද බහු දින ධීවර යාත්‍රාවේ ජී.පී.එස්. යන්ත්‍රය මිනින්දෝරු දෙපාර්තමේන්තුවට යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අදාළ මත්ද්‍රව්‍ය සමග තිබූ ගිනි අවි දෙක රජය රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි තවත් කරුණක්.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඉල්ලා සිටි ඉහත වාර්තා කැඳවීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා එම සැකකරුවන් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එහිදී නියම කළා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ තංගල්ල ආසන්න මුහුදේ පසුගියදා නාවික හමුදාව විසින් සිදු කළ වැටලීමකදීයි. හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 115ක් සහ අයිස් කිලෝග්‍රෑම් 261ක් එහිදී සොයා ගැණුනා.