ඉදිරියේදී විදුලිබිල අඩුකිරීමට ක්‍රියාත්මක කරන සැලැස්මක් ආණ්ඩුව සතුව ඇතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් සහ ජල විදුලි නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් ජනන වියදම අඩුකිරීමට සූදානම් බවයි.

ඒ හරහා ඉදිරියේදී විදුලිබිල අඩුකිරීමේ සැලැස්මක් ඇති බවද බලශක්ති අමාත්‍යවරයා පැවසුවා.

ඔහු මෙම අදහස් පළ කළේ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අනුව ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාම තෝරාගත් සේවකයන්ට මූල්‍ය වන්දි ලබාදීමේ උත්සවයට එක්වෙමින්.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපේක්ෂා කල ප්‍රධාන කරුණු කිහිපයෙන් එකක් වූයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම බවයි එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව පාරිභෝගිකයාට උසස් සේවයක් ලබාදෙන ආයතන බවට අළුතින් පිහිටුවන ආයතන පත් කරමින් ප්‍රතිව්‍යුහගතකරණයේදී රටේ ජනතාවට ලබාදුන් පොරොන්දුව ඉෂ්ඨ කිරීමට කටයුතු කරන බවද බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවා.

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන ලංවිම සේවකයින් 1,898 දෙනෙකු වෙනුවෙන් මූල්‍ය වන්දි ලබාදීම මෙහිදී සිදු කෙරුණා.