මැදපෙරදිග හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිළ සීඝ්රයෙන් ඉහළ යාමට පිළියමක් ලෙස සහ බලශක්තිය සුරැකීමේ අරමුණින් පාකිස්තාන රජය විසින් දැඩි පිරිමැසුම් පියවර මාලාවක් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව රාජ්‍ය වාහන සඳහා ලබා දෙන ඉන්ධන කප්පාදු කිරීම, රජයට අලුතින් වාහන මිලදී ගැනීම, රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ සංචාර සහ නිල රාත්‍රී භෝජන සංග්‍රහයන් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ද්‍රවීකරණය කළ ස්වාභාවික වායු (LNG) සැපයුමට බාධා එල්ල වීමත්, පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ යාමත් නිසා පාකිස්තානය ඉදිරියේදී දැඩි ගෑස් සහ විදුලි හිඟයකට මුහුණ දීමේ අවදානමක් මතුව තිබේ.
මෙම වසර තුළ පාකිස්තානය මෙවැනි පිරිමැසුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ දෙවන අවස්ථාව මෙය වන අතර, තොරතුරු තාක්ෂණ උපකරණ හැර අනෙකුත් කල්පවතින භාණ්ඩ රජයට මිලදී ගැනීම තහනම් කිරීම සහ සියලු නිල හමුවීම් සඳහා වීඩියෝ තාක්ෂණය භාවිත කිරීම ද මෙම නව පියවරයන්ට ඇතුළත් වේ.
පසුගිය මාර්තු මාසයේදී ද පාකිස්තානය මෙවැනිම පියවර ගත් අතර, එහිදී ඉන්ධන භාවිතය සහ රජයේ වියදම් අඩු කිරීමේ අරමුණින් සති දෙකක කාලයකට පාසල් වසා දැමීමට, රාජ්‍ය අංශයේ ඉන්ධන සීමා කිරීමට සහ රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට උපදෙස් දීමට පියවර ගැනුණි.
මේ අතර, ඉහළ යන ඉන්ධන මිල හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කුඩා ප්‍රමාණයේ මෝටර් රථ හිමියන් වෙනුවෙන් මාසික සීමාවකට යටත්ව ලීටරයකට රුපියල් 100 ක සහනයක් ලබා දීමේ නව වැඩපිළිවෙළක් ද පසුගිය බදාදා සිට ආරම්භ කර ඇත.
පසුගිය කාලයේ ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් සහ ගෑස් අපනයනයට දැඩි බාධා එල්ල විය. ඊට අමතරව සවුදි අරාබිය සහ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් මේ වන විට රතු මුහුද හරහා සිදුවන නාවික වෙළඳ කටයුතු ද දැඩි අවදානමකට ලක්ව තිබේ.




