මීගමුව සහ මහර බන්ධනාගාරවල ඇතිවූවා සේම ඉදිරියේදී සෙසු බන්ධනාගාරවලද කලහකාරී තත්ත්වයන් ඇති විය හැකි බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අනතුරු අඟවනවා.

එහි කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් මහතා පැවසුවේ රැඳවිය හැකි ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් රැඳවුවන් බන්ධනාගාරවල රඳවා සිටීමෙන් රැඳවූවන්ට ඇතිවන පීඩනය මෙවැනි කලහකාරී සිදුවීම්වලට ප්‍රමුඛ හේතුවක් බවයි.

ඒ අනුව, බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා වහාම පියවර ගත යුතු බව ඔහු අවධාරණය කළා.

"අතින් අද කුඩු වෙනුවට යම් යම් දේවල් දාලා විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා 54 ගහනවා. ඉතින් එහෙම ගහපු අය අද බන්ධනාගාර තුළ විශාල වශයෙන් ඉන්නවා. රස පරීක්ෂක වාර්තා නැතුව අවුරුද්දකට වැඩිය ඉන්නවා, මිනිස්සු ඉන්නවා, අවුරුදු දෙක තුන ඉන්න මිනිස්සු ඉන්නවා. ඉතින් බන්ධනාගාර පිරෙන එක අහන්න දෙයක්ද? අපි ඉල්ලන්නේ ඒකයි, වහාම මේ රස පරීක්ෂක වාර්තාවල් මාස තුනක් ඇතුළත... රස පරීක්ෂක වාර්තාවල් ගෙන්නන්න. නැත්නම් මේ බන්ධනාගාර තුළ එන්න එන්න, එන්න එන්න පිරිස වැඩි වෙනවා. ඒ වගේම පීඩනය ඇති වෙනවා. මේ... මේ ඇතිවෙච්ච තත්ත්වය තවත් බන්ධනාගාරවලට ගලාගෙන යන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා අපි කියන්නේ මේ තත්ත්වය නවත්තන්න. මොකද මිනි මරලා, රැඳවියෝ මරලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. දැන් දැනගන්න ලැබුණා එක රැඳවියෙක් මෙතනත් ජීවිතක්ෂයට පත්වෙලා. එතකොට අපි අහන්නේ දැන් මීගමුව බන්ධනාගාරය වැහුවා, එතකොට මේ බන්ධනාගාරයත් වහන්නද? කලබල ඇතිවෙන ඇතිවෙන බන්ධනාගාර වහලා, ඒ රැඳවියන්ව වෙන වෙන බන්ධනාගාරවලට දාලා තවත් පීඩනයක් ඇතිවෙන්නේ. ඉතින් මේ පීඩනය කවදාද ඉවර වෙන්නේ?"

රැඳවූවන් කලාකාරීව හැසිරීම නිසා නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේද රැඳවිය හැකි රැඳවූවන් ගණන මෙන් කිහිප ගුණයක් රඳවා සිටි බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. එහි පහසුකම් ඇත්තේ රැඳවූවන් 900කට පමණක් බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ. එහෙත් රැදවූවන් හාරදහසක් පමණ එහි රඳවා සිටි බවද ඔවුන් කියා සිටියා.
මේ අතර මේ පිළිබද අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානයක්කාර මහතා පැවසුවේ බන්ධනාගාර ගැටුම්වලට හේතුව තදබදයම නොවන බවයි. එහෙත් තදබදය අවම කිරීමට ද දැනටමත් පියවර ගනිමින් ඇතැයි අමාත්‍යවරයා පැවසුවා.

"මේකට මූලික වශයෙන්ම අපිට තියෙන තොරතුරක් තමයි, ඔබ දන්නවා අපි මත්ද්‍රව්‍යවලට එරෙහිව ලොකු සටනක ඉන්නවා. ඒ සටන නිසා දැන් හිරගෙවල් තුළට යන මත්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේකත් එක හේතුවක් වෙන්න පුළුවන්. තදබදය, මං හිතන්නේ අවුරුදු එකහමාරක් දෙකක් තිස්සේ නෙමෙයි, අපේ රජය එන්නත් කලින් ඉඳලා තිබුණේ තදබදය. තදබදය නිසාම මේ වගේ රැරැළි ඇතිවෙන්න හේතුවක් නැහැ. නමුත් තදබදය අඩු කිරීමත් අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය සියලුම පියවර අපි ගනිමින් ඉන්නවා. එක පැත්තකින් අපි ආරම්භ කරලා තියෙන්නේ තියෙන රිමාන්ඩ් බන්ධනාගාරවල, තැනින් තැන බන්ධනාගාරවල 'ෆිසිකල් ස්පේස්' (Physical Space) එක වැඩි කරන්න. තව 7000කට 8000කට ඉන්න පුළුවන් වෙන්න. ඊට අමතරව අපි තෝරා හොයාගෙන තිබෙනවා රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා පුද්ගලයින්ට ඇප ගැනීමට බාධාවක් තිබෙන බව. ඒ නිසා මේ වන විට අපි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අලුතෙන් කාර්ය මණ්ඩල අරගෙන, ඒ වගේම අලුතෙන් යන්ත්‍ර සූත්‍ර, නාකොටික් සම්බන්ධයෙන් අරගෙන ඒ වේගවත් කරන්න කටයුතු කරනවා. දැන් අපි උත්සාහ කරනවා මාසයකට රස පරීක්ෂක වාර්තා 7500ත් 9000ත් අතර ප්‍රමාණයක් නිකුත් කරගන්න. ඒ සඳහා ඔවුන් රාත්‍රී කාලයේ වැඩමුරයක් පවා අපි සාකච්ඡා කරලා ක්‍රියාවට නංවමින් ඉන්නවා."

බන්ධනාගාර තදබදය ද අවම කිරීමේ අපේක්ෂාවෙන් ඉදිරියේදී සමහර නීති සංශෙෘ්ධන ද සිදුකරන බව අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.