කැකිරාව, සමගිගම ප්‍රදේශයේදී ගල් වළක දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ අවුරුදු 39 හා 41 වයස්වල පසු වූ හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවයි.

කැකිරාව ප්‍රදේශයේ පාසලක ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කටයුත්තක් සඳහා පැමිණ සිටි හපුතලේ ප්‍රදේශයේ පස් දෙනෙකුගෙන් යුතු පිරිසක් ඔවුන් නවාතැන් ගෙන සිටි නවාතැන්පල ආසන්නයේ පිහිටි ගල් වළක දියනෑමට ගොස් තිබෙනවා.

ඔවුන් අතරින් තිදෙනෙක් දිය නෑම අවසන් කර නවාතැන්පලට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා තවදුරටත් දිය නාමින් සිට ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් දෙදෙනා ප්‍රමාදවීම පිළිබඳ සොයා බැලීමේදී ඔවුන් දියේ ගිලී සිට ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඔවුන්ගේ මෘත ශරීර කැකිරාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කැකිරාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.