රාජ්‍ය ආයතන තුළ ප්ලාස්ටික් බෝතල් හා කඩදාසි භාවිතය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන තුළ මේ වනවිටත් බොහෝ ලිපි ලේඛන කටයුතු ඩිජිටල්කරණය වී ඇති බවයි.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

ප්‍රශ්නය

රාජ්‍ය ආයතන වලත් ඒ කඩදාසි භාවිතය අවම කිරීම, ප්ලාස්ටික් බෝතල් දුරලීම කියන සම්බන්ධව ගෙන තියෙන පියවර මොනවාද? ඒ වගේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද කියලා මා ප්‍රශ්නයක්...

පිළිතුර:

ගරු කථානායකතුමෙනි, ඇත්ත වශයෙන්ම ඩිජිටල්කරණය තුළින් තමයි මේක අවම කරගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන වල මේ වෙනකොට වැඩ කරමින් පවතිනවා. නමුත් මේක යම් කාලයක් යනවා. උදාහරණයක් හැටියට ඩිජිටල් සිග්නේචර් (Digital signature) එක පිළිගන්න පුළුවන් කියන එක දැන්... දැන් ඒක තියෙනවා, ඒක... ඒ ප්‍රින්සිපල් (Principle) එක අපි ඇස්ටැබ්ලිෂ් (Establish) කරලා තියෙන්නේ. මේ විදියට විශෙෂයෙන්ම ලිපි ගොනු හුවමාරු කිරීම මෙවැනි කාරණා ගණනාවක් ඩිජිටල් පද්ධති හරහා කරන්න හැකියාව ඉදිරියට ලැබෙනවා. උදාහරණයක් හැටියට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉස්සර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පිටරට ගමන් පිළිබඳ ලීව් ඇප්ලිකේෂන් (Leave application) එක හාඩ් කොපියක් (Hard copy) හැටියට අමාත්‍යාංශයට එන්නේ. දැන් මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කරලා තියෙන්නේ. ඒ ලීව් ඇප්ලිකේෂන් එක විශ්වවිද්‍යාලයේ ඉඳන්ම අමාත්‍යාංශය දක්වා ඇපෲවල් (Approval) එක දෙන්නේ UGC එක හරහා ඩිජිටල් පද්ධතියක් හරහා. ඉතින් මේ විදියට විවිධ... හැම අමාත්‍යාංශයක්ම මෙවැනි... මේ විදියට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අපි හිතනවා ඩිජිටල්කරණය තව ස්ථාපිත වුණාම මේ කඩදාසි භාවිතය බොහෝ දුරට අපිට අඩු කරන්න පුළුවන් වෙයි කියලා."

ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යපාන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද මෙහිදී රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා. එහිදී ඔහු විමසා සිටියේ එම ප්‍රතිසංස්කරණවලින් හෝ පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමට කටයුතු කරන්නේද යන්නයි. ඊටද අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබා දුන්නා.

ප්‍රශ්නය:

දැන් දරුවන්ගේ පොත් බෑගය සම්බන්ධව... පොත් බෑගය ඉතාම බර වීම සම්බන්ධව ඒක සෞඛ්‍ය ප්‍රශ්නත් තියෙනවා. දැන් මේක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මේ දරුවන්ගේ පොත් බෑගයේ බර වැඩිවීම සම්බන්ධව කොහොමද කටයුතු සිද්ධ වෙන්නේ? ඒක ඩිජිටල්කරණය හරහා හෝ යම්කිසි ක්‍රියාමාර්ගයක් අරන් මේකට විසඳුමක් ලැබෙනවාද කියන ප්‍රශ්නය මම අගමැතිතුමියගෙන් ඉල්ලුම් කරනවා.

පිළිතුර:

ආරම්භක පන්තිවල, ගරු කථානායකතුමෙනි, කොහොමටත් ඇක්ටිවිටි බුක්ස් (Activity books) හරහා තමයි - ඒ කියන්නේ ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ක්‍රියාවලියක් යන නිසා - තවදුරටත් අවශ්‍ය වෙන්නේ නෑ පොත් එහාට මෙහාට ගෙනියන්න. පොත තියෙන්නේ පන්ති කාමරයේ. ළමයා ඒකත් එක්ක වැඩ කරලා, වාර අවසානයේදී තමා ඒක ගෙදර ගෙනියන්න අවශ්‍ය වෙන්නේ.

2027 ඉඳන් අපි 6 වසරට හඳුන්වා දෙන ක්‍රමවේදය තුළ මොඩියුල (Module) ක්‍රමය නිසා - මොඩියුල කියන්නේ ටෙක්ස්ට් බුක් (Textbooks) තරම් ලොකු පොත් නෙවෙයි - ඉතින් ඒ නිසා ඒ විෂය අනුව ඒ වාරයට අදාළ මොඩියුල එකක් තමා දරුවන්ට ලබා දෙන්නේ. ඒක... ඒක කොහොමටත් ඉතින් ප්‍රින්ට් කොපියක් (Print copy) වෙන්න ඕනේ, යම්තාක් දුරකට... සියලු දේම ඩිජිටල්කරණය කරන්න බෑ. විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය වෙනවා පොත්පත් ලබා දෙන්න සහ ඒවා තුළ වැඩ කරන ක්‍රියාවලියක් ඇති කරන්න.

නමුත් මොඩියුල ක්‍රමය තුළින් මේ පොත් බෑගයේ බර නම් සෑහෙන දුරට අඩු වෙනවා."