ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන ආ සංවිධානාතා්මක අපරාධකරුවන් 05 දෙනාගේ විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙන බව පොලීසිය පවසනවා.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් සම්බන්ධයෙන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා යොමු කර ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙතයි.

බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබෙනවා.

පසුගිය කාලය පුරාවටම රට තුළ සිදුවූ ඝාතන සිද්ධීන්, මත්ද්‍රව්‍ය චෝදනා සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව දීර්ඝ විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් වුට්ලර් මහතා පැවසුවේ.

මෙම පිරිස ඊයේ දිනයේ කටුනායක ගුවන් තොටුපොළට රැගෙන එන අවස්ථාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් වුට්ලර් මහතා ඇතුළු පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය කාලයේ ඇතැම් පාතාල නායකයින්ට දේශපාලන රැකවරණයන් ලැබුණ බවයි.

වර්තමාන රජය යටතේ කිසිදු පාතාල නායකයෙකුට දේශපාලන රැකවරණයන් හිමි නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පොලීසිය සිදු කරන විමර්ශනවලදී තවත් පාතාල කණ්ඩායම්වලට සම්බන්ධ පුද්ගලයින් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පාතාලය මර්දනය කිරීම සඳහා කැපවූ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසුවා.

එම අවස්ථාවේදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ පාතාල කණ්ඩායම් නායකයින්ගේ තර්ජනවලට පොලීසිය බිය නොවන බවත් පාතාල නායකයින්ට සහය ලබා දෙන සියලු පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් සහ මෙරට පොලිස් නිලධාරීන් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ඇගයීමට ලක්වූ අතර ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට සමරු ඵලකයක්ද පිරිනැමීමට ආමාත්‍යවරයා කටයුතු කළා.