වෙනිසියුලාවේ අගනුවර ආසන්නයේ සිදු වූ දරුණු භූමිකම්පන දෙකෙන් පසු එරට තවත් පසුකම්පන 138 ක් පමණ සිදුව තිබෙනවා.
මෙම ස්වාභාවික ආපදාව හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන මේ වනවිට 235 දක්වා වැඩිවී තිබෙන බවයි බීබීසී ප්රවෘත්ති සේවය පවසන්නේ.
තුවාල ලැබූවන් 1,500කට වැඩි පිරිසක් රෝහල්ගත කර තිබෙනවා.
මේ අතර කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි වෙනිසියුලානු රජය පවසන්නේ. ඒ අනුව මියගිය ගණන තවත් වැඩිවිය හැකි බවද විශ්වාස කෙරෙනවා.
පළමු භූකම්පන දෙකෙහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සටහන් වූයේ පිළිවෙලින් ඒකක 7.2ක් සහ 7.5ක් ලෙසයි. තත්පර කිහිපයක පරතරයකින් මෙම භූකම්පන සිදුවුණා.
මේ සමග රට තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර කෙරුණූ අතර බේරාගැනීම් මෙහෙයුම් ආරම්භ කෙරුණේ ඒ සදහාම පත් කෙරුණු ජෙනරාල්වරයෙකු යටතේයි.
වෙනිසියුලාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළද තවදුරටත් වසා දමා තිබෙනවා.
ප්‍රදේශ ගණනාවකට විදුලිය සහ අන්තර්ජාල සැපයුම්ද බිදවැටී ඇති බවයි බීබීසි ප්රවෘත්ති සේවය පැවසුවේ.
මේ හේතුවෙන් බේරාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවාවලට ද බාධා සිදුව තිබෙනවා.
මේ අතර සිදුකෙරන බේරාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සදහා අමෙරිකානු ඩොලර් මිලියන 150ක ආධාර වෙනිසියුලාව වෙත ලබාදෙන බවයි අමෙරිකාව පවසන්නේ.
මීට අමතරව මෙක්සිකෝව, එල් සැල්වදෝරය සහ කටාර් රාජ්‍යය ඇතුළු රටවල් රැසක් ද සහන සේවා සඳහා සහය පළ කර තිබෙනවා.




