ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන කරන ලෙසයි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පිළිබඳව ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහිදී, මෙවර අයවැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදීම, එම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම, මෙම වැඩසටහන අදාළ රේඛීය ආයතන සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට විද්‍යාත්මක පසුබිමක් සහිත නව මොඩලයක් සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.