කොළඹ - බදුල්ල දුම්රිය ධාවනය සඳහා තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

ඒ, ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතරදී පීලි පැන ඇති දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවීම හේතුවෙන්.

පසුගිය 18 වනදා බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියක ඉදිරිපස එන්ජිම මතට ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතරදී ගල් සහ පස් කඩා වැටීම හේතුවෙන් එම දුම්රිය පීලි පැන තිබුණා.

දුම්රිය කාර්ය මණ්ඩලය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ තවත් රාජ්‍ය ආයතන ගණනාවක සහභාගීත්වයෙන් එම දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරුණා.

කෙසේවෙතත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කොළඹ කොටුව සහ නානු ඔය අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.