ලෝක දේශපාලනය උණුසුම් කරමින්, ඇමෙරිකානු රජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව උතුරු කොරියානු න්‍යෂ්ටික පරීක්ෂණ හඳුනාගැනීමේ පර්යේෂණවල නිරත වූ චීන සම්භවයක් සහිත ඇමෙරිකානු විද්‍යාඥයෙකු චීන ආරක්ෂක අංශ භාරයේ පසුවන බව අනාවරණය වේ.

දැනට වසර දෙකකට ආසන්න කාලයක් රහසිගතව රඳවා තබාගෙන සිටින 54 හැවිරිදි භූ කම්පන විද්‍යාඥ යූලින් චෙන්ට එරෙහිව චීනය විසින් ඔත්තු බැලීමේ චෝදනා එල්ල කර ඇති අතර, ඔහු ඉදිරියේදී දැඩි නඩු විභාගයකට මුහුණ දීමට නියමිතය.

පසුගිය වෙළඳ යුද්ධයෙන් පසු බීජිං පාලනය සමඟ පවතින සබඳතා යම් මට්ටමකින් සමතුලිතව තබා ගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරමින් සිටින මොහොතක, මෙම සිදුවීම කරළියට පැමිණීම විශේෂත්වයකි.

පසුගිය මාර්තු 19 වැනිදා, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ විසින් යූලින් චෙන් "වැරදි සහගත ලෙස රඳවා තබාගෙන සිටින" පුද්ගලයෙකු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

එතැන් පටන් ඔහුව නිදහස් කරගැනීම ධවල මන්දිරයේ ප්‍රමුඛතම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් බවට පත් වුවද, සංවේදී සාකච්ඡා සඳහා ඉඩකඩ තැබීම වෙනුවෙන් ඇමෙරිකානු රජය මේ දක්වා මෙම තොරතුරු මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමෙන් වැළකී සිටියේය.

නම හෙළි නොකළ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රභවයක් සඳහන් කළේ, "මේ වන විට අපගේ එකම සහ පූර්ණ අවධානය යොමුව ඇත්තේ ඔහු චීනයේ අසාධාරණ සිරඅඩස්සියෙන් නිදහස් කරවා ගැනීම කෙරෙහි පමණක්" බවයි.